දශක හතරක් පුරාවට “ඇවිදීම ජීවිතය” කරගත් තරුණ තරුණියන් නඩයක් ගැනයි මේ කතාව දිග හැරෙන්නේ…
අපි කව්ද?
කොහේද ඇවිදින්නේ?
මොකටද ඇවිදින්නේ?
මේ අපි ගැන අපේ කතාවයි.
සුන්දර හන්තාන කඳු වැටියෙන් වටවුණු ලොව සුන්දරතම සරසවියේ හිමිකාරයො හිමිකාරියො අපි; ඉතිං මේ හිමිකාරීත්වය හුදෙක් බලා සැනසෙන්නට නොව, විඳිමින් රැක ගන්නට බැව් වටහාගත්, සොබාදම් මාතාවගේ අසීමිත ආදරය, කඳුල, උණුසුම, සුවඳ, සිසිලස ජීවිතය කරගත් අපි ගවේෂකයො. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයින්ගේ කණ්ඩායමේ සාමාජිකයො.
“ඇවිදීමයි ජීවිතය” (Walking is Living) යන තේමාවෙන් අප කණ්ඩායම 1971 වසරේ ආරම්භය සනිටුහන් කර වසර 45ක් ජීවය ලැබූයේ අප සාමාජිකයිගේ අසීමිත කැපවීම් වල අග පලයක් ලෙසටමය.
වසරේ වැඩිමනක් අපි රට වට කඳු දිය ඇලි තරණය කරන්නෙමු. නමුදු එයින් නොනැවතෙන්නෙමු. පිදුරුතලාගල ද තරණය කරන්නෙමු. එයිනුදු නොසෑහෙන්නෙමු.හිමාලය ද තරණය කරන්නෙමු. කඳු තරණයෙන් නොසෑහෙන්නෙමු. දකින කඳු දිය ඇලි සොයමින් ඒවාට මන්පෙත් සොයන්නෙමු. නවමු අදහස් සොය සොයා ඒවා අත් හදා බලන්නෙමු. විටෙක බයිසිකල් සවාරි යන්නෙමු, විටෙක අපි අප බාල පරම්පරාවට අප අත්දැකීම් ලබාදෙන්නට ගවේෂණ තරඟ සංවිධානය කරන්නෙමු. තවත් විටෙක අපි ඔවුන්ගේ පාසල් ගොඩ නගන්නෙමු. එයිනුදු නොනවතින්නෙමු. ඇහෙන දකින ලොවට සංවේදී වෙමු. ගුහාවන් සොයා යන්නෙමු. රේල් පීලි මත දෙපයින් දින ගණන් ඇවිදිමින් ත්‍රාසය විදින්නෙමු, සොබාව විදින්නෙමු. එයිනුදු නොසෑහෙන්නෙමු.අප වටා පරිසරය අධ්‍යයනය කරන්නෙමු. කුරුල්ලන් සොයා යන්නෙමු. සමනලුන් පසු පස දුවන්නෙමු. එයින් නොනැවතී ප්‍රථමාධාර දැනුම සොයා යමු. ඉතිහාසගත දැනුම සොයා පුරාවිද්‍යා ගවේෂණ කරන්නෙමු. එකී මෙකී නොකී සියලු දැනුමේ බලයෙන් සන්නද්ධ වෙමු.එහෙත් එයිනුදු නොනවතිමු. අනුරපුරේ බෝ මලුවේ, රන් මැලි සෑ මලුවේ අපද්‍රව්‍ය එක්කාසු කරන්නෙමු. සිරිපා මලුවට සැදැහැවතුන් එන්නට පෙරාතුව ගොස් සුද්ධ පවිත්‍ර කරන්නෙමු.
මේ සියල්ල සංවිධානයට අරමුදල් සොයා විටෙක චිත්‍රපටි පෙන්වන්නෙමු, විටෙක තරඟ පවත්වන්නෙමු. තවත් විටෙක වලෙහි නාට්‍ය පෙන්වන්නෙමු. එවිට අප අරමුදල් සොයා ගවේෂණය කරන්නෝ වෙමු.
හන්තානේ ගල්පොත්තෙන් ආරම්භ වන වසරක ගමන කටුසුකොන්දෙන් අවසන් වන තුරු ලූල්කඳුර, බතලේගල, දිවිදොස් කන්ද, බ්‍රැන්ඩිගල, ගලබොඩ, කබරගල, මොණරකන්ද, කොටගඟ ඇල්ල, අලගල්ල, අරංගල, කිරිගල්පොත්ත, උතුවන්කන්ද ආදී රට වට ඇති සියලු කඳු දිය ඇලි වල පහස සොය සොයා යන්නෙමු.
කඳු නැගීමේදී ලබන අත්දැකීම් වදනින් කිව හැක්කක් නොවේ. මේ එවන් එක් අසාර්ථක වෑයමකි.
විටෙක අප පය ලිස්සා යන්නේ පසෙහි තෙතමනය නිසාය. තවත් විටෙක එය පස වියලි නිසා ලිස්සා යයි. තවත් විටෙක කොල රොඩු නිසා ලිස්සා යයි. ඒ කෙසේ ලිස්සා ගිය ද ඉහළින් සේම පහළින් අප වෙත ඒ සෑම වරම දිගුවන සෙනෙහස රැකවරණයේ දෑත් මඳ නොවේ. ඒ කඳු නගින විට ලබන එක් අමුතු හැඟුමන්ගෙන් එකකි. තව බොහෝ වෙයි. සොබා දහමේ අපූරු මැවුම් මතු වෙයි. විටෙක අප අත් වැල ගලකි. තව විටෙක ඇඹරී දඟර ගැසී ගිය මුලකි. තව විටෙක් වැලකි. පඳුරකි. මෙ ගල්ද මුල්ද වැල්ද පඳුරුද අනෙකක්ද එක් කැලයෙන් කැලයට වෙනස්ය. එකම කැලයේ වුව දෙතැනක දෙකක්ය. එකිනෙකට සමාන වූවක් සෙවිය හැක්කේ නොවේ.ඉහලට නගින විට අත් වැලක් වන මේ සියල්ල ම ඊලග මොහොතේ පයට ගැම්මක් වෙයි.සොබාදම් මාතාවගේ අරුම පුදුම මේ මැවුම්වල උරුමකරුවෝ අප ම වෙයි. පියවරක් පියවරක් පාසාම අප අපේ ගවේෂණය විඳින්නෙමු. අපට අත් වැල් නොදුන් සොබාදම් නිමැවුමක් නැති යැයි හැඟේ.
අප මඟ විටෙක වරුසාවෙන් සිහිල් වෙයි. විටෙක දැඩි අව්රශ්මියෙන් උණුසුම් වෙයි. විටෙක අප දෙපයින් ඇවිදී. තව විටෙක හතරගාතයෙන්ම ඇවිදී. ඇතැම් විට මහපොලව සිඹිමින් බඩ ගාන උරගයින් වෙන්නෝ ද අපමය. සමනලුන් කුරුල්ලන් වන සිවුපාවුන් ට මෙන් අපට ද මිහිමත සෙනෙහස දැනෙයි.
යන මඟ කිසිදු දිය සීරාවක් අපට මඟ නොහැරේ. ඇගේ දිය දහරවෝ අප වෙහෙස නිවාලයි. කොපමණ කුල්මත් වුවද අප අපගේ අරමුණ කරා ගමන කරන්නට අමතක නොවේ.
කඳු මුදුනක චමතකාරජනක දර්ශනය අප ගමන් වෙහෙස නිවාලන්නේ නොව අමතක කරවන්නේයැයි කිවහොත් නිවැරදිය. යලි කන්දක් දෙස බැලීමට හෝ නොසිතා එන වෙහෙසකර ගත සිතත් සමඟ චේතනා සටනක නියැලෙන්නේ කඳු මුදුනේදී හමුවන නොසිතූ නොපැතූ අරුම පුදුම වූ හැඟීමම අතිශයින්ම ප්‍රබල නිසාමය. කෙසේ හෝ ගත සිතට අනුගත කරගත්තෝ අපි වෙමු. අවසානයේ ගවේෂකයෝ වෙමු.
මනරම් මනස්කාන්ත එම දර්ශනය කන්දෙන් කන්දට වෙනස් වෙයි.කාලයත් සමඟ වෙනස් වෙයි. විටෙක අප කඳු මුදුන දකින්නේ මද්‍යහ්න අව්රශ්මිය සමගිනි. තව විටෙක හිරු ඈත කඳු යෝධයෙකු ගිල ගන්නා විටදිය. එවිට හිරු කුමරුගේ බල රහිත රක්ත වර්ණයෙන් නබෝ ගැබ අරක් ගනී. තව විටෙක සීත මඳ සුලඟකින් අප වෙලා ගනී. ඇතැම් විට එකිනෙකා නොපෙනෙන මිහිදුම් සේලයකින් අප වෙලා ගනී. අහස සිඹින කඳු ගිරි ශිඛර මෙන්ම පහතින් පෙනෙන දඟර ගැසුණු නාගයින් මෙන් ගලා යන ජල ධාරාවෝ අප සිත් මන් මත් නොකරන්නට කවර නම් කාරණාවක් සමත්වෙත්ද? නිල්ල නිලට දිලිසෙන වනපෙත් , නිල් අහස සිප ගනිමින් විඳින ප්‍රේමය අප සිත් තුල නිරාමිස ප්‍රීතියක් ම ඇති කරවයි. මේ සුරම්‍ය දිවයිනට, ලෝ තලයට මිනිස් සිතුවිලි කවරක් නිසා එරෙහි වී දැයි සිතේ.මිනිසා පමණක් සොබාවික ජීවියෙක් නොවුණේ මන්දැයි සිතේ.
කිසිවෙකුත් කිසිදු හේතුවක් නිසා මෙම දර්ශනය නොදැක පල්ලම් බසින්නේ නොවේ. ඒ ගවේෂක අපගේ හදවත් බැඳීමයි. එය අපගේ ම කරමතින් වුව ද එය අපට අරුමයක් වන්නේ නොවේ. කඳු මුදුනකට නැඟි විට එය වටා පෙනෙන කඳු සියල්ල ම පාහේ තරණය කල සාමාජිකයින්ගෙන් අප කණ්ඩායම අඩු නොවේ. එය ද වරක් දෙවරක් වන්නේ නොවේ.දිය ඇල්ලක් තරණය කරන කලට පෙණ පිඬුවන් දිය කැටිති දැක සැනසෙන්නට අපට නම් හැකි නොවේ. ඈ තුරුලට ගොස් ඒ සිසිල නොවිඳ අප නම් යන්නේ නොවේ. මන්ද අප ඇගේම දරුවන් බැව් අපත් ඇයත් දන්නා නිසාමය.
විශේෂ ගමන්වාර සංවිධානය කරමින් පිදුරුතලාගල,රත්න ඇල්ල,බඹර කන්ද, එල්ජීන් ඇල්ල, නන්පරෙයිල් වත්ත හරහා හෝටන් තැන්න, මැණික්දෙන, සප්ත කන්‍යා, හක්ගලකන්ද, අලගල්ල, සේර ඇල්ල, රාවණා ගුහාව (නිල් දිය පොකුණ), මානිගල, නමුණුකුල ආදී ත්‍රාසජනක අත්දැකීම් සොයා පිය නගන්නෙමු. කණ්ඩායමත් සමඟ පැමිණීමට ඇති හැකියාව සෙවීමට ගවේෂණය කරන්නෙමු.
රට වට කඳු මතින් නොසෑහුනු අප සංගමය සත් වරක් හිමාලය තරණය කිරීමට ද සමත් වූයේ සිව් සතලිස් වසරක් පුරා අප හා එක් වූ දහස් ගණනක් වූ සාමාජිකයින්ගේ අතිමහත් කැපකිරීම් වල ප්‍රතිපලයක් ලෙසට ම ය. හිමාල තරණය සුවිශේෂී අංගයක්ම වේ. ගෝලීය උණුසුම්කරණයට විරෝධී තේමාව යටතේ හත් වන හිමාල සිහිනය ඇරඹුණි. මේ සඳහා අරමුදල් රැස් කිරීම පහසු කටයුත්තක් වූයේ නොවේ. ඇතැම් විට දස දෙනෙකු පමණ යෑමට එක් වුව ද මුදල් ප්‍රමාණවත් වනුයේ සය දෙනෙකුට බැවින් අන් අය තම ආසාවන් කැප කරනුයේ සහෝදරත්වයේ උත්තරීතර කැපකිරීම් ලෙසටය. කෙසේ වුවද ඇති පදමට වියදම් කර හිමාල තරණයක යෙදීමට මුදල් නොලැබේ. ඇතැම් විට ඔවූහු තම දිවා ආහාරය පමණක් ගෙන සීතල හිම මත තරණය කරති. තවත් විටෙක ඔවූහු චොකලට් හෝ බිස්කට් වැනි සුලු අහාර වලින් වේලක් පිරිමසා හිමාලය නගිති. ජීවිත අවදානම හා ඔවූහු සටන් කරති. අවසානයේ ඔවූහු හිමාල සිහිනය ද සපුරා ගන්නේ නේපාල භූ කම්පනයෙන් පසු ලංකාවෙන් ප්‍රථමවරට හිමාලය තරණය කල කණ්ඩායම ලෙසට හිමාල කඳු මුදුනේ අප සංගමයේ ධජය ලෙලදෙවමිනි.
මෙලෙස සොබාදහම් මාතාවගේ අසීමිත ආදරයක උරුමකරුවන් වන අපි සොබාදහම් මාතාවට අසීමිත ආදරයක් නිසඟයෙන් ම අප හදින් ම පුදන්නෝ ද වෙමු. මිනිසා සොබාදහමෙන් ඈත් වී හුදෙකලා ජීවියෙකු වීමත් සමඟ ඔහුගෙන් සිදුවන්නා වූ අනේක විද හිරිහැර අප සිත් වල ජනිත කරන්නේ මහත් සංවේගයකි. මෙය අප අත් විදින්නෝ වෙමු. “කඳු නැග්මෙන් ඇති පලය කිමදැයි? “අසන අයෙක් වී නම් ඔහුට හෝ ඇයට තම මවට පමණක් දෙවැනි මවක් මඟ හැරී ඇතැයි සිතේ. ඒ සොබාදම් මාතාව ම ය. මහපොලොවේ පුසුඹ, ඇගේ සුවදැති සිහිල උණුහුම මග හැරුණු ඔවුන්ම හැර ඇයට මෙතරම් රිදවන්නට කාට නම් හැකිද? කෙසේ නම් හැකිද? කවර නම් හේතුවකින් සාධාරණය කල හැකිද?
විටෙක අප සිරීපාදය, රුවන්මැලිසෑය පිරිසිදු කරන්නට යන්නේ එවන් පරිසර පොලිතීන් වැනි අපද්‍රව්‍ය මගින් විනාශ කර ඇති අයුරු බලා සිටීමට නොහැකි නිසාවෙන් ම ය. රුක් රෝපණ වැඩසටහන් දියත් කරනුයේ ද අපට හැකි උපරිමයෙන් සොබාදම් මාතාවගේ හද ලූ තුවාලය සුවපත් කිරීමට ය.
පාසල් ගවේෂණ තරඟාවලිය හරහා අප පසු පස එන අපගේ බාල පරම්පරාවට, මෙවන් නවමු, අභියෝගාත්මක අත්දැකීම් ලබාදීමට උත්සහ ගන්නෙමු. ඔවුන්ගේ පෞරුෂ සංවර්ධනයට උත්සහ දරමු.නායකත්ව හැකියාවන් වර්ධනයටත්, මෘදු ගුණාංග වර්ධනයටත් මග කියන්නෙමු.තෝරා ගත් පාසලක සිසු සිසුවියනට අප සරසවි මාතාව පෙන්වමින් ඔවුන්ගේ ආකල්ප දැනුම හා කුසලතා සංවර්ධනයට අදාල වැඩසටහන් ක්‍රියාත්මක කරන්නෙමු. මෙලෙස අප ලත් අත්දැකීම් පාසල් සිසු සිසුවියනට විවිධ වැඩ සටහන් ඔස්සේ ගෙනයමින් අප උත්සහ දරණුයේ, අප බාල පරම්පරාවේ සිත්සතන් තුල “පරිසරය හා අප යනු එකෙකු මිස දෙකක් නොවන බැව්” ගලක කෙටූ ඉරක් සේ සනිටුහන් කරන්නට ම ය.
ගවේෂක කණ්ඩායමේ අප සෑම වනපියසක ම පමණක් නොව ඕනෑ ම තැනෙක පිය සටහන් පමණක් තබා මතකයන් පමණක් රැගෙන එන්නට වගකීමෙන් යුතුව කටයුතු කරන්නෙමු.
තාරුණ්‍යයේ ජවයෙන් , විනෝදය , ආවේගය, දැනුම සහ නව අදහස් නිරතුරුව සොයා යන අපි ඒවා ක්‍රියාත්මක කර අත්දැකීම් ලබා ගැනීමට පසුබට නොවෙමු.කඳු නැගීමෙන් පමණක් නොසෑහී තෝරාගත් පාසලක අවශ්‍යතා හඳුනාගෙන ඒවා සපයා දීමට සයිකල් සවාරියක් සංවිධානය කෙරෙන්නේ මේ නිසා ම ය. ඒ අප ගවේෂණය මිනිස් අවශ්‍යතා වලට ද සංවේදී වන නිසා ය.
පේරාදෙණි ගවේෂකයින්ගේ කණ්ඩායමේ තවත් සුවිශේෂී මෙන්ම අතිශය සංවේදී හැඟීමක දැනෙනුයේ එහි ජ්‍යේෂ්ඨත්වයයි. එය අන් කිසිඳු ජ්‍යේෂ්ඨත්වයක ට සම වේ දැයි සැක සිතේ. එය ඒ තරම් ම සුවිශේෂී වේ. සෑම විටම ජ්‍යේෂ්ඨයින් තම කනිෂ්ඨයින්ට ආදර්ශමත් වීමට වග බලා ගැනේ. එසේ ම ඔවූහු ඔවුන් නිරතුරුව රකිති. අනෙකක් තබා කෑම බීම පවා තම කනිෂ්ඨයින් ලැබුණේදැයි බැලීමට තරම් ඔවූහු සැලකිලිමත් වෙති.සියලු අභියෝගාත්මක පියවර හමුවේ ඔවූහු ඉස්සර වෙති.අභියෝගය තමුන්ගේ කොට ගෙන කනිෂ්ඨයින් ට මඟ පෙන්වති.
ලේ රතු පැහැති ජර්සිය ජ්‍යේෂ්ඨත්වයේ සංකේතය බඳු වෙයි. සත්තකින්ම කනිෂ්ඨ අවධියේ එය දුටු විට මහත් ආරක්ෂාවක් දැනෙයි. මේ නිසාම එය සාමාන්‍ය ඇඳුමකට වඩා සුවිශේෂී වූවක් වෙයි. අප සංගමයේ සමාජිකත්වය ලැබීම ජීවිතාන්තය දක්වා ලැබෙන්නකි. මේ නිසාම උපාධි ගෙන සරසවි මව් හැර යන අපට සරසවිය හා යාවත්කාලීන වන නෑ කමක් ඇත්නම් ඒ සංගමය නිසාම වෙයි.
අපි අප අවට පරිසරයට සංවේදී වෙමු. මෙහෙයින් අප විශේෂ වුව ද අප සුවිශේෂී වන්නේ අපගේ විනයෙනි. නොකැඩී නොබෙදී එන සංස්කෘතියකිනි. කිසිඳු ගවේෂණ කර්තව්‍යයකට මත් වතුර අවශ්‍ය නොවේ. සහෝදරත්වය ඉක්මවා නොයන සුන්දර බැඳීමක් අප හදවත් තුල වෙයි. ඒ අප විනය අප හදවතේ මිස පොතක නොවන නිසාය. අප අදහස් හා යෝජනා වලට ගරු කරන්නේ වෙමු. එසේම අප ජ්‍යේෂ්ඨ සාමාජිකයින්ගේ අත්දැකීම් වලට ගරු කරමු. ඔවුන්ගේ කතාන්දර ඇසීමට නොතිත් ආසාවකින් පෙලෙන්නෝ වෙමු. අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි නොකියනා නමුදු පෙන්වනා ජ්‍යේෂ්ඨ සාමාජිකයින්ගේ ආශීර්වාදයෙන්, පුරා පන්සාළිස් වසක් ආ අප සංගමය තවදුරත් පරිණත බවට පත්වෙමින් සිටින්නෙමු.
¬වසරක් පුරාවට අප කඳු දියඇලි සොයා යන්නෙමු. මාසිකව අධ්‍යයන කව පවත්වමින් දැනුම සොයා යන්නෙමු. අපගේ ගවේෂණය පරිසර පද්ධති එහි ජීවීන් පමණක්ම වන්නේ නොවේ. කඳු නැගීමට අවැසි ප්‍රථමාධාර දැනුම, ඉතිහාසගත පුරා විද්‍යා දැනුමද සොයා යන්නෙමු. තවද අප සොබා දහමේ විවිධ හැඩ සොඳුරු ඇසකින් දකිමින් ඡායාරූපකරණයේ මායිම් සොයන්නෙමු, විටෙක ගීතයෙන් මත් වන යෞවනය, කවිසිතුවිලි තුලින් පොහොසත් සංවේදී මිනිසුන් වෙමු.
අප සංගමයේ සඳුදා රාත්‍රියේ හමුව චිරාත් කාලයක් පැවතෙන්නකි.සෑම සතියකම මෙම හමුව අප සැමගේ පෙර දින ගවේෂණය හා එම සතියේ ඉදිරි වැඩ කටයුතු පිලිබඳ දැනුවත් කිරීම සිදුවේ. ගවේෂණයට සහභාගී නොවූවෝ මෙයට පැමිනෙන්නේ කනිටු සාමාජිකයින්ගේ කතාන්දරයත් සමඟ ගවේෂණයට සහභාගී වීමටය. රසවත් කතාන්දර කීමෙන් හා ඇසීමෙන් අප ලබන්නේ හුදෙක් විනෝදයම නොවේ. මෙයින් අප මෘදු ගුණාංග වර්ධනය වන්නේ අපටත් හොර රහසේය. මෘදු ගුණාංග වර්ධනය කරනා වැඩමුලු දහසකින් ලත් නොහැකි දෑ අප අප සංගමයෙන් ලබන්නෙමු.
වාර්ෂිකව ගිනිමැල රාත්‍රියකින් පසු එක් ගවේෂණ වාරයක් නිමා කරන අප,එහිදී නව ගවේෂණ වාරයක් ජ්‍යේෂ්ඨ සමාජික සාමජිකාවන්ගේ ආශීර්වාදයලත් නවමු සාමාජික සාමාජිකාවන්ගේ; පරිසර හා ගවේෂණ ප්‍රතිඥාවන් සමඟ අරඹන්නෙමු. එතැන් සිට රට වට කඳු දියඇලි සතියකට වරක් යමින් තවත් කනිටු පරම්පරාවක් ගොඩ නැගීමට මුල් පියවර තබන්නෙමු. හිමාලය තරණය සඳහා ද වැඩිමනක් සහභාගී වන්නෝ කින්ටු පරම්පරාවෙන් වෙයි. වරින් වර විටින් විට ඔවුනට වගකීම් ලබාදෙමින් වසරක් පුරා සොඳුරු ගවේෂකයින් නිර්මාණය කෙරෙන්නේ ජ්‍යේෂ්ඨත්වයේ මහත් වූ ආදරය සෙනෙහස මැදිනි. ජ්‍යේෂ්ඨත්වයේ මග පෙන්වීම් යටතේ ඔවූහු වාර්ෂිකව නවකයින්ගේ අභියෝගතා තරඟාවලිය, පාසල් ලමුන්ගේ අභියෝගතා තරඟාවලිය, සුහද හමුව ආදී විවිධ ඉසව් නිර්මාණය කරති. අවසානයේ වාර්ෂික ගිනිමැල රාත්‍රිය ද ඔවුන්ගේම නිර්මාණ වලට දස්කම් විස්කම් වලට තෝතැන්නක් වෙයි. පීඨ නවයක මහා සහෝදරත්වයකින් එකිනෙකාගේ මහත් වූ දස්කමින් විස්කමින් අප කණ්ඩායම පෝෂණය වෙයි.
සියලුම ජ්‍යේෂ්ඨයින් තම කනිෂ්ඨ අවධියේ අත් දුටුවේ අරුම පුදුම වූ සෙනෙහසකි. එය පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන අපූරු සෙනෙහසේ ගංගාවකි. මෙම සෙනෙහසේ ගංගාවෙන් අප සංගමය පෝෂණය වන තාක් එහි අක්මුල් සිඳලීමට නොහැකි රූස්ස ගසක මෙන් නිරතුරු දලුලමින් අතු පතර විහිදා වැඩෙනු ඇත. පේරාදෙණි සරසවිය එහි සුපුෂ්පිත සුගන්ධයෙන් සදා නොනිමෙන වසන්තයෙන් මනරම් වනු ඇත.
Article by: Udani Vindhya
No comments:
Post a Comment