Tuesday, October 20, 2020

Hanthana Exploration 2020


නව ගවේෂණ වාරය එනම් 2020/21 ගවේෂණ වාරය අරඹමින් විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ පළමු ගවේෂණය අප කාටත් හුරුපුරුදු වූ හන්තාන කඳු මුදුන බලා යාමට සියල්ල සූදානම් කෙරුණි. වෙනදාට වඩා සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමින් සුපුරුදු පරිදිම විද්‍යා පීඨ ප්‍රධාන දොරටුව අසලට පෙර දැනුම් දී තිබූ පරිදි කඳුකර ගවේෂණයට රිසි වූ බොහෝ පිරිසක් රැස්ව සිටියේ නව ගවේෂණ වාරයට නවමු ඇරඹුමක් ගෙනදීමටයි. අධික වැසිබර කාලගුණයකට උරුමකම් කී මේ සැප්තැම්බරයේ 27 වන ඉරිදා දිනය වැසි රහිත වූවක් වූයේ අපගේ ගමනට ආශිර්වාදයක් වෙමින්. 

    උදෑසන 8 පමණ වන විට එකතු වූ 95 දෙනෙකුගේ පිරිස සමඟ ගමන ඇරඹීමට පෙර සුපුරුදු ලෙස රවුමට වට වූ අප සංගමයේ සභාපති සහෝදරයා විසින් කරන දැනුවත් කි‍රීම් වලට සවන් දුන්නේ පරිසරයට හිතැති ගවේෂණයක් සඳහා අප විසින් කළ හා නොකළ යුතු කරුණු බොහෝමයක් එහි අඩංගු වූ හෙයිනි. ගමනේ ඇරඹුමට පෙර කණ්ඩායම් 5කට වෙන්ව කණ්ඩායම්ගත වූ අපි,8.30ට පමණ හන්තාන කඳු මුදුන බලා ගමන ඇරඹුවේ දැඩි උද්වේගයෙනි. විද්‍යා පීඨයෙන් පිටවී රජවත්ත මාර්ගය ඔස්සේ අමායා හිල්ස් හෝටලය හරහා ගොස් කොන්ක්‍රීට් දැමූ මාර්ගය දිගේ වතුර පීල්ල ළඟට පැමිණියා. ඒවන විටත් හිස්ව තිබූ වතුර බෝතල් සියල්ල නැවත් පුරවා ගත්තේ මින්පසු අපට වතුර පිරවීමට ස්ථනයක් හමුවන්නේ කන්ද බහින විට නිසාය. ටික වේලාවක් එහි දී වෙහෙස නිවාගත් අපිනැවතත් අපගේ සුපුරුදු ගමන ඇරඹුවා.  පීල්ල අසලින්ම ඉහළට වැටී ඇති අඩි පාරේ ගොස් කෝවිල පහුකර කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගය දිගේ තේ වත්ත මැදින් අප පැමිණියේ හන්තාන කඳු මුදුනට යන මාර්ගයේ පාමුලටයි. හන්තානේ ඇති සම්ප්‍රේෂණ කුළුනු හරහා මේ මාර්ගය වැටී ඇත.මාන පඳුරු වලින් වට වූ මදක් ඉහළ ආනතියක් ඇති මේ මර්ගය තරණය කිරීම මදක් අපහසු වූයේ පෙර දින කිහිපයේ ඇද හැලුනු වැස්ස හේතුවෙන් ලිස්සා යන නිසායි.


    මෙලෙස පැමිණි අප පළමු කුළුන අසලදි මදක් වෙහෙස නිවා ගැනීමට නැවතුනි. ටික වේලාවකට පසු නැවත ගමන ඇරඹි අප සම්ප්‍රේෂණ කුළුනු පසු කරමින් අපගේ ගමනාන්තය වන මද ආනතියක් ඇති අංශක 360ක මනරම් දර්ශනපතයකට හිමිකම් කියන ගල් පොත්ත වෙත පැමිණියා. සුපුරුදු විදියට දවල් ආහාරය ගත්ත අපි එකිනෙකා හඳුනා ගත්තේ ගමන පුරාවට සියළු දෙනාටම එකිනෙකාට කතා කිරීමට අවස්ථවක් හිමි නොවන නිසා. ඒ විතරක් නොවේ එදින පැමිණ සිටි සංගමයේ ජේෂ්ඨ සාමාජික අයියලා අක්කලා තම තමන්ගේ අතීත අත්දැකීම් බෙදා ගන්නත් අමතක කලේ නැහැ. 

ඒ වගේම හන්තාන කඳු පන්තිය ගැනත්, අම්බුළුවාව,අලගල්ල,බතලේගල,ශ්රොෆ්,නකල්ස් කඳු පන්තිය, දිවිදොස්ගල, මොණරගල වැනි අවට දිස්වන කඳු පන්ති ගැනත් විස්තර කලේ බොහෝ අය කරන හුදෙක් කඳු තරණයන්ට වඩා විශේෂයක් වෙමින්. එලෙස කාලය ගත කළ අප නැවත ගමන ඇරඹුවේ වැස්සකට පෙර විශ්ව විද්‍යාලයට පැමිණිමටයි. පැමිණි ගමනේ කූඩැල්ලන්ගෙන් හා ඝනට වැඩුනු මාන පඳුරු වලින් නම් අඩුවක් නොවිය. සුළං කපොල්ලCP2 තේ වත්ත, මාන කැළෑ අතරින් පයිනස් කැළය පහුකරගෙන ඉහළ හන්තාන නිකේතනය හරහා පල්ලම් බසගත් අප උඩ පේරාදෙණිය පාර ඔස්සේ නැවතත් විද්‍යා පීඨය ඉදිරියට පැමිණියේ තවත් එක් සොඳුරු ගවේෂණයක නිමාව සනිටුහන් කිරීමටය. රසවත් කොත්තමල්ලි වීදුරුවකින් ගමනේ වෙහෙසක් නොවූ විඩාව නිවාගත් අප සංගමයේ ගීත දෙක ගායනා කර සතුටි විසිර ගියේ තවත් දිනෙක මෙවැනිම ගවේෂණයක නියැලීමේ අරමුණ ඇතිවයි.  

No comments:

Post a Comment