ලූල්කඳුර ගවේෂණය
ජීවිතේ හැමදේම අපිට ඕන විදියට පුරුදු රිද්මයටම සිද්ධවෙන්නෙ නැති වුනත් සමහර දේවල් තියනවා කොහොම හරි ජීවිතයට ළංකරගන්න ආස හිතෙන. එක පාරටම ලෝකෙම නැවතිල තිබිල ආයෙම හෙමින් හෙමින් දුවන්න ගත්ත වෙලාවක අපිත් ආරම්භ කලා අපේ ගමන පුරුදු විදියටම. පේරාදෙණිය විශ්ව විද්‍යාල ගවේෂකයින්ගේ සංගමය හන්තාන කඳු වැටිය ගවේෂණයෙන් 2020/21 ගවේෂණ වාරය ආරම්භ කරද්දි දෙවන ගවේෂණය විදියට තමයි ලූල්කඳුර,කොණ්ඩගල ගවේෂණය යෙදිල තිබුනෙ.
බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් ටේලර් 1867 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ පළමු තේ වත්ත පිහිටුවන ලද ප්‍රදේශය තමයි ලූල්කඳුර කියන්නෙ. මේ ප්‍රදේශයේ ලූලන් සිටි පොකුණක් තිබූ නිසා ලූල්කඳුර ලෙස නම් ලැබුනා කියලත් ජනවහරෙ සඳහන් වෙනවා.
ඔන්ලයින් ජීවිතයක් අස්සෙ හෙම්බත් වෙලා ඉන්නකොට මේ වගේ පරිසරයක් විඳින්න ලැබෙනවා කියන්නෙ ඇත්තටම ලොකු නිදහසක්, සතුටක්. ඉතින් අපි සුපුරුදු විදියටම උදේ 7.30 පමණ වෙද්දි විද්‍යා පීඨය ඉදිරිපිටට 105ක් වූ ගවේෂකයෝ පිරිසක් එකතු වුනේ ලූල්කඳුර, කොණ්ඩගල තරණයටයි. ඒ සදහා පැය එක හමාරක පමණ ගමනක් දෙල්තොට දක්වා බස් රථයකින්
ගමන් කිරීමට සිදු වුනත් එය ඉතාමත් රසවත් එකක් වුනේ මඟ දිගට එක්ව ගැයූ ගීතත්
සමග සතුට සහ සිනහව මැද ගෙවූ කාලයක් නිසාවෙනි.
කන්ද නැගීම ආරම්භ කරන ස්ථානයට පැමිණීමෙන් පසු ගවේෂකයින්ගේ සංගමයේ ලේකම්තුමා විසින් පිළිපැදිය යුතු කරුණු පිළිබදව වගේම ගවේෂණය අතරතුර අධ්‍යනය කල යුතු දේ පිළිබඳවත් දැනුවත් කරනු ලැබුවා. ඉන්පසුව සහභාගි වූ පිරිස කණ්ඩායම් හයකට වෙන්කර ජේෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙකු බැගින් එක් එක් කණ්ඩායමට පත් කලේ සියලු දෙනාගේ ආරක්ෂාව ඉතාමත් වැදගත් දෙයක් වූ නිසාවෙන්.
ඉන්පසුව අපි බොහෝ දෙනා හඳුනාගනිමින් ඉදිරියට ගමන් කලා. 13 කඩියා අයියා හා දැවැන්තයා අයියා පැමිණ සිටි නිසාවෙන් වෙනදා ලූල්කඳුර තරණය කරන මාර්ගයට වඩා වෙනස් ඉතා සුන්දර හා වඩා මහන්සි වී යා යුතු මඟක් හරහා අපේ ගමන වැටී තිබුනා. පැඟිරි, ඊතණ, මාන හා තවත් පඳුරු හා ශාක බහුල ප්‍රදේශයක බෑවුම් සහිත මාර්ගයක් ඔස්සේ තමයි අපි ගමන් කලේ. තිබූ වැහිබර කාලගුණය හා බොරළු වල තිබූ පෙරලී යන ස්වභාවය නිසා අප එකිනෙකාට උදවු කරගනිමින් ඉහළට පැමිණියා, ඉන්පසු පසු අපි ගමන් කලේ උස ගස් වලින් වියනක් සෑදුනු ඉතාමත් සුන්දර බෑවුම් රහිත ප්‍රදේශයක.
විශාල තේ වත්ත හරහා ගමන් කල අපි ජේම්ස් ටේලර් මහතා භාවිතා කල බංගලාවෙහි නටඹුන් හා
ළිඳ ඇති ස්ථානයට පැමිණියා. ඔහු භාවිතා කර තිබුණේ ලීයෙන් සෑදූ බංගලාවක් බැවින් අද වන විට දක්නට ලැබෙන්නේ චිමිනියේ නටඹුන් කොටසක් පමණයි. ඉන්පසු අපි එම ස්ථාන පහු කර තවදුරටත් ගමන් කලේ කොණ්ඩගල තරණය සඳහායි. ඒ අවට බඹරුන් ගැවසෙන ස්ථාන බහුල වූ බැවින් නිශ්ශබ්දතාවය රැකෙන පරිදි අවධානයෙන් ගමන් කිරීමට වග බලා ගත් අපි කඳු මුදුනට පැමිණෙන විට සවස දෙක පමණ වී තිබුනා. සීතල සුළං රැලි ගල් තලාව පිස හමා ගිය බැවින් ගතේ විඩාව තුරන් වීමට වැඩි වෙලාවක් ගියේ නැහැ. සුළු ආනතියක් සහිත වූ මෙම විශාල ගල් තලාවට 360°ක ඉතාමත් සුන්දර දර්ශන පථයක් අයත් වුනා.
මතක සටහනක් ලෙස ජායාරූප ගැනීමත් අවට සුන්දරත්වය නැරඹීමත් සියලු දෙනාටම තිබූ ප්‍රධානම වුවමනාවන් වූ නිසා ටිකෙන් ටික පමා වී තිබූ දවල් ආහාරය ඉන්පසුව අප සියළු දෙනාම එක්ව ගල් තලාව උඩදී ලබා ගත්තා. ඉන් පසු වෙනදා මෙන්ම මෙවර ගවේෂණයට සහභාගී වූ සියළු දෙනාම හඳුනාගත්තා. අපටම ආවේණික දෙයක් වූ අවට කඳු පන්ති ගැන මෙන්ම තවත් වටිනා බොහෝ දේ සමඟ තමන් ලද අතීත අත්දැකීම් රාශියක් පිළිඳබව විස්තර කිරීම 13 කඩියා අයියා සහ දැවැන්තයා අයියා විසින් සිදු කලා. මොණරගල, අම්බුළුවාව, අලගල්ල, හන්තාන කඳු පන්තිය, නකල්ස් කඳු පන්තිය, කබරගල, දොලොස්බාගේ කඳු පන්තිය, අශ්රොෆ් කන්ද හා බතලේගල කන්ද මෙහිදී අපට පැහැදිලිව දැක ගත හැකි වුනා. විටින් විට දේශගුණය වෙනස් වන ස්ථානයක් ලෙස මෙය හදුන්වන්නේ ඇයි ද යන්න මැනවින් පිළිඹිබු කරමින් සීතල මීදුම් වලාව දැඩි සුළඟත් සමග පැමිණියේ අවට කඳු වලලු වෙලා ගනිමින්. මෙසේ කාලය ගත කළ අපි නැවත සවස හතරට පමණ කන්ද බැසීමට පටන්ගත්තේ පා සටහන් පමණක් තබා මතක සටහන් ගොන්නකුත් අරගෙන.
කන්ද බසින අතරමගදී තේ වතු යායෙහි වූ තවත් සුවිශේෂී ස්ථානයක් වන ජේම්ස් ටේලර්ගේ ආසනය බැලීමටද අප අමතක කලේ නැහැ. වයස අවුරුදු 17 දී තරුණයෙකු ලෙස ලංකාවට එන ජේම්ස් ටේලර් මහතා ලංකාවේ තේ කර්මාන්තයේ පුරෝගාමියා වූ අතර
ඔහු මෙම පාෂාණමය ආසනයේ සිට තේ වතු යාය සැලසුම් කලා යැයිද විශ්වාසයක් ද පවතිනවා. කඳුකරයේ කෝපි වගාව දිලීර රෝගයක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වී ගිය පසු විකල්පයක් වශයෙන් ඔහු විසින් තේ වගාව හඳුන්වා දුන් අතර ලූල්කඳුර වතු යායේ අක්කර 19ක භූමි ප්‍රදේශයක මෙම තේ වගාව ආරම්භ කර තිබුනා.
ඉතින් මේ හැම දෙයක්ම බලාගෙන, ඒ පුදුම සහගත වටපිටාවෙන් මිදිල එද්දි හොඳටම හවස් වෙලා අඳුර වැටෙමින් තිබුනා. තේ වතු අතරින් එන සීතලම සීතල සුළං රැලි මඳ අඳුරත් එක්ක එකතු වෙලා ජීවිතයට අමතක නොවන සුන්දර මතකයක් එකතු කලා. ඒ අතර තැන තැන බඹර වද කිහිපයකුත් දැකගන්න ලැබුනා. අවසානයේදී ගෙවල් කිහිපයක් අසලින් පැමිණි අප ප්‍රධාන මාර්ගයේදී බස් රථයට ගොඩ වුනා. සොඳුරු මතක ගොන්නක් එකතු කරමින් ලස්සනම පරිසර පද්ධතියක් ඇතුලෙ ගත වෙච්ච දවසක් නිමා වෙලා නැවත විශ්ව විද්‍යාලයට එද්දි රාත්‍රී 7.30 පමණ වී තිබුනා.
ඉතින් ඔන්න ඔය විදියට තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාල ගවේෂකයින්ගේ සංගමය 2020/21 ගවේෂණ වාරයේ දෙවන ගවේෂණයත් සාර්ථකව නිමා කලේ. ගොඩක් ලොකු පිරිසකගේ සහභාගීත්වයෙන්, සතුට, සිනහව, එකමුතුකම සහ මතක ගොඩකුත් එක්ක ඒ දවස ඒ තරම් ලස්සන කලාට ඒ හැම කෙනෙක්ටමත් හද පිරි ස්තූතිය පුද කරනවා!!
සටහන: S.S.S.Sewwandi(Agri/15), Anjali
Abeyrathne(S/16)
සංස්කරණය: P.H.I. Udantha (S/17)
No comments:
Post a Comment