Thursday, January 22, 2026

දිවිදොස්ගල ගවේෂණය - 2025

 දිනය : 2025/11/02

ගවේෂණ අංක : 15

ගමන් මාර්ගය : පේරාදෙණිය - ගන්නෝරුව - දිවිදොස්ගල - ගන්නෝරුව - පේරාදෙණිය 


හැඳින්වීම : 

මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගන්නෝරුව කන්දේ උසම ස්ථානය ලෙස සැලකෙන දිවිදොස්ගල පර්වතය ඓතිහාසික වටිනාකමකින් මෙන්ම ඉතා විශාල ජෛව විවිවිධත්වයකින් යුත් පරිසර කලාපයකි. මෙම පර්වතය මුහුදු මට්ටමේ සිට මීටර් 755ක පමණ උසකින් සමන්විතවන අතර කොහොඹා කංකාරියේ සඳහන් පුරාවෘත්තයට අනුව පඬුවස්දෙව් රජුට වැළදුනු "දිවිදෝශය" නම් ශාපය හා සම්බන්ධ ස්ථානයක් බවත් එබැවින් දිවිදොස්ගල ලෙස නම් ලද බවත් සැලකේ. දිවිදොස්ගල පර්වතය පේරාදෙණිය උද්භිද උද්‍යානයට ආසන්නව පිහිටා ඇති නිසාවෙන් පරාගනය කරන්නන් සහ බීජ විසරණය කරන්නන් සඳහා වාසස්ථානයක් ලෙසද ක්‍රියා කරයි. මෙය තරණය කිරීමට පහසු තෙත් කලාපීය වනාන්තර ගණයට අයත් සංවේදී පරිසර කලාපයක් ලෙස සැලකේ. 


දැකගත හැකි ශාක විශේෂ :

මෙම වනාන්තරයේ ශාක විශේෂ 117ක් පමණ හඳුනාගෙන ඇති අතට ඉන් 14ක් පමණ ලංකාවට ආවේණික ශාක වේ. බැදිදෙල්, මලබොඩ, දවුල්කුරුඳු, හවරිනුග, ඇටඹ ඉන් කිහිපයකි. 


දැකගත හැකි සත්ව විශේෂ : 

විවිධ සත්ත්ව කාණ්ඩ රැසක් මෙහිදි දැකගත හැකිය. කුරුළු විශේෂ 50කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ලංකා ගිරාමලිත්තා, ලංකා මයිනා, ලංකා සිතැසියා, රන් මුහුණු කොට්ටෝරුවා වැනි ආවේණික විශේෂ ඒ අත වේ. එමෙන්ම හඳුනාගත් උභයජීවී විශේෂ 13න් 11ක් පමණ ආවේණික වේ. මීට අමතරව රිළවුන්, වල් ඌරන්, හඳුන්දිවියන්, ලේනුන් වැනි ක්ෂීරපායින් හා ගැටහොඹු කටුස්සා, කැලෑ කටුස්සා වැනි උරඟ විශේෂද බඹරුන් මීමැස්සන් වැනි කෘමීන් විශේෂද වාර්තා වී ඇත.


දර්ශන පථය :

අලගල්ල 

බතලේගල

උතුවන්කන්ද

දොලොස්බාගෙ කඳු වැටිය

පැහැදිලි දිනවලදී ශ්‍රී පාදය

මහනුවර ප්‍රදේශය 

මහවැලි ගංගා ද්‍රෝණිය


මානව ක්‍රියාකාරකම් :

තරණය කිරීමට ඇති පහසුව සහ ගන්නොරුව රණබිම ගම්මානයට ඉතා ආසන්නව පිහිටා තිබීම හේතුවෙන් මානව අන්තර් ක්‍රියා තරමක් බහුල පරිසරක් බව දැකගත හැකි විය. කඳවුරු බැඳ ඉවුම් පිහුම් කටයුතුවල නිරත වූ බවටද සළකුණු දක්නට ලැබුණි. කැළිකසළ සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සුළු වශයෙන් දක්නට ලැබුණි. සංචාරකයන් නිරන්තරයෙන් පැමිණීම හේතුවෙන් රතු සහ නිල් පැහැති මං සළකුණු ලෙස සැලකිය හැකි සලකුණු කිහිපයක්ද දැකගත හැකිවිය. එමෙන්ම භාවනානුයෝගීව වැඩ වසන භික්ෂූන් වහන්සේ කිහිප නමක්ද මෙම පර්වතයේ වැඩවසන බවද අසන්නට ලැබුණි. කෙසේනමුත් මානව ක්‍රියාකාරකම් බහුලවීම තුළින් දේශිය ශාක සහ සත්ව විශේෂවල වාසස්ථාන අහිමිවීමේ අවදානමක් පවතී. 


ගවේෂණ සටහන : 

විශ්වවිද්‍යාල ගවේෂකයින්ගේ සංගමයේ 25/26 ගවේෂණ වාරයට අදාළ 15වන ගවේෂණය ලෙස දිවිදොස්ගල ගවේෂණය සිදුකරන ලදී. 2025/11/02 වනදින උදෑසන 7 පමණ වනවිට ගවේෂකයින් හතළිහකට අධික ප්‍රමාණයක් විද්‍යා පීඨය අසලට රැස්වූ අතර සියලු දෙනා උදෑසන 8 පමණ වනවිට දිවිදොස්ගල බලා ගමන් ආරම්භ කෙරිණි. මෙම පර්වතය විශ්වවිද්‍යාල භූමියට ඉතා ආසන්නව පැවතීම නිසා ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා නොකර පාගමනින් පේරාදෙණිය නගරය හරහා එම ස්ථානය වෙත ලඟා වුණි. 

අනතුරුව උදෑසන 9 පමණ වනවිට අප රණබිම රාජකීය විද්‍යාලය අසළින් වැටි ඇතී පටු මාර්ගය ඔස්සේ ගමන් කර පර්වතය පිහිටි ස්ථානය වෙල ලඟාවිය. 

ඉන්පසු කුඩා පිට්ටනියක් ඔස්සේ වැටී ඇති අඩිපාර දිගේ ගවේෂණය ආරම්භ කළෙමු. ආරම්භයේ සිට මුදුන දක්වාම වියළි කොළරොඬු ආදිය පිරී පවතින තරමක් තෙත් සහිත පොළොවක් දක්නට ලැබුණි. ඒ නිසාවෙන්ම කුණකටුවන් වැනි සර්පයින්ද අතරමගදී අපට හමුවිය. තරණය එතරම් අපහසු නොවුනද පැවති වියළි කාළගුණනය සහ දැඩි හිරු රශ්මිය හේතුවෙන් අප තරමක් වෙහෙසට පත්වීමු. පර්වතය මුදුනේ විවිධ විශාලත්වයෙන් සහ හැඩයෙන් යුත් ගල් තලා දක්නට ලැබුණි. 

මෙම ගමන් මාර්ගයේ කිසිදු තැනක දිය කඩිති දැකගත නොහැකිවිය. එහෙයින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට අපට සිදුවිය. කඳු මුදුනට තරමක් පහල ස්ථානයක විශාල ගල්තලාවක් පැවතීම හේතුවෙන් ඉතා සිත්ගන්නාසුලු දර්ශන තලයක් දැකගත හැකිවිය. මෙහිදී අලගල්ල, හන්තාන කඳු පන්තිය, මහවැලි ගඟ, කටුගස්තොට නගරය, බහිරවකන්ද යන ස්ථාන ඉතා පැහැදිලිව දර්ශනය විය. විශේෂත්වය වුයේ මහවැලි ගඟේ පටුම ස්ථානය මෙහිදී ඉතා හොඳින් දර්ශනය වීමයි. 

මෙම ගල්තලාව පසුකර මානා ශාක ගොල්ලක් ඔස්සේ කඳු මුදුනට පැමිණි අප සියලු දෙනා එහිදී දිවා ආහාරය ලබාගතෙමු. කඳු මුදුන විශාල ගස් හා ගල් පර්වතයන්ගෙන් වටවී තිබීම හේතුවෙන් එහිදී අවට දර්ශන පථය පැහැදිලිව දැකගැනීමට අපට නොහැකිවිය. අනතුරුව නැවතත් ගල්තලාව මතට පැමිණි ගවේෂකයින් එහිදී එකිනෙකා හඳුනා ගනු ලැබුණි. එහිදී ඡායාරූපයගතකරණය සහ දර්ශන පථයේ දක්නට ලැබෙන ස්ථාන හඳුනාගැනීමටද අප අමතක නොකළෙමු. මේ වනවිට ඉර මුඳුන් වී පැවතීම හේතුවෙන් දැඩි හිරු රෂ්මියක් පැවතුණි. ඉන්පසු නැවතත් අප පැමිණි ගමන් මාර්ගය ඔස්සේ පහළට ගමන් ඇරඹිණි. එහිදී අපට දඬු ලේනුන් සහ රිළවුන් දක්නට ලැබුණි. 

අප ගවේෂණය ආරම්භකල ස්ථානයට පැමිණෙන විට 12.45 පමණ වූ අතර නැවතත් පේරාදෙණිය හරහා විශ්වවිද්‍යාලය වෙත පාගමනින් පැමිණෙන විට 1.30 පමණ විය. සුපුරුදු පරිදි ගීත ගායනයෙන් අනතුරුව යළිත් මෙවැනි ගවේෂණයකින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් ගවේෂකයින් සියළු දෙනා ස‍තුටු සිතින් විසිර ගියහ. 25/26 ගවේෂණ වාරයට අදාළ දිවිදොස්ගල ගවේෂණය මෙසේ නිමාවට පත්විය.


Album -

https://www.facebook.com/share/p/17aWQnFRou/?mibextid=wwXIfr

Written by - Gayana Lekamge (Sevana S21) 

No comments:

Post a Comment