Saturday, September 5, 2026

රාක්ෂගල ගවේෂණය: 2026

 

රාක්ෂගල ගවේෂණය: 2026

දිනය :- 2026.08.16

ගවේෂණ අංකය :- 09

පේරාදෙණිය ගවේෂකයින්ගේ රාක්ෂගල කඳු තරණය.


අහස සිපගන්නා කඳුමුදුන්, මීදුමෙන් වැසුණු කඳු ශිඛර අතර සිත් අතරමං ගවේෂක අපි 26/27 අපේ 09 වන කඳු තරණය ලෙස සොයා යන්නට යෙදුණේ රාක්ෂගල කඳුවැටියයි.

ඓතිහාසික උරුමය සහ ජනප්‍රවාද

ගම්පොළ දොළොස්බාගේ කඳු පන්තියේ දෙවන උසම කන්ද ලෙස සැලකෙන රාක්ෂගල, මීටර් 1,438 උසකින් යුක්ත වේ. ප්‍රදේශවාසීන් අතර කිණිහිර කන්ද, පත්තිනි අම්මා කන්ද සහ වංගේඩි මෝල්ගස් කන්ද යන නම්වලින්ද මෙය ප්‍රකටය. රාවණා රජුගේ සෙබළුන් වූ රාක්ෂ ගෝත්‍රිකයන් යුද්ධයට අවශ්‍ය කඩු සහ ආයුධ තැනූ කම්මල මෙහි පිහිටි බැවින් 'කිණිහිර කන්ද' ලෙසත්, කම්මලේ අළු පහළට ගොඩගැසුණු බැවින් පහළ ගම්මානය 'අළුගොල්ල' ලෙසත් හැඳින්වෙන බවට ජනප්‍රවාදයේ පැවසේ. එමෙන්ම රාවණා රජු විසින් සීතා දේවිය මුලින්ම සඟවා තැබුවේද මෙම රාක්ෂගල බව කියැවේ

ජෛව විවිධත්වය සහ දර්ශනපථය

අපූරු ජනප්‍රවාදවලට පමණක් නොව, පොහොසත් ජෛව විවිධත්වයකටද රාක්ෂගල උරුමකම් කියයි. කඳුකර පක්ෂීන්, කටුස්සන්, කෘමීන්, ඕලුමුවන් සහ ඌරන් වැනි සතුන්ද, ලයිකන හා පාසි බැඳුණු සුවිශේෂී ශාක විශේෂ රැසක්ද මෙහිදී දැකගත හැක. කඳු මුදුනට ළඟා වූ විට අම්බුලුවාව, නකල්ස්, ශ්‍රී පාදස්ථානය, පිදුරුතලාගල සහ කබරගල ඇතුළු දර්ශනීය වටපිටාවක් නරඹන්නා හමුවේ දිගහැරේ

 මානව ක්‍රියාකාරකම් සහ පාරිසරික බලපෑම

රාක්ෂගල ස්වාභාවික සෞන්දර්යයෙන් පිරිපූර්ණ වුවද, මිනිස් ක්‍රියාකාරකම්වල අහිතකර බලපෑමෙන් මිදී නොමැත. කන්ද පහළ ගම්මානවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය ලෙස තේ වගාව ව්‍යාප්ත වී ඇති අතර, රාක්ෂගල නැරඹීමට පැමිණෙන ඇතැම් අසංවේදී සංචාරකයින් විසින් බැහැර කරන ලද ප්ලාස්ටික්, පොලිතීන් සහ නොයෙකුත් අපද්‍රව්‍ය කඳුකර පරිසර පද්ධතියට විශාල තර්ජනයක් වී ඇත.

අභියෝගාත්මක ගවේෂණ සටහන

2026-08-16 වන දින උදෑසන නොඉවසිලිමත් සිතින් විද්‍යා පීඨය වෙත පැමිණි අප, විද්‍යා පීඨය අසලට පැමිණි මහකන්ද බසයෙන් පෙ.. 8.00 පමණ වන විට රාක්ෂගල බලා ගමන ආරම්භ කළෙමු. ගමන ආරම්භ කිරීමට මත්තෙන් සියලු දෙනා කණ්ඩායම් හතරකට බෙදුණු අතර එක් එක් කණ්ඩායම් එක් එක් මාතෘකා යටතේ ගවේෂණය කිරීමට වගකීම් භාරගන්නා ලදී

උදෑසන 10.00 පමණ වන විට පේරාදෙණිය, නාවලපිටිය හරහා දොළොස්බාගේ වෙත ළඟා වූ අප, එතැන් සිට තේවත්තක් දිගේ වූ පැහැදිලි මාර්ගය ඔස්සේ 500m පමණ ඉදිරියට ගමන් කළෙමු. එතැන් සිට කතාබහේ යෙදෙමින් පරිසරය ගවේෂණය කරමින් ඉදිරියට ගමන් කළ අප, තුරුලතා පියස්සෙන් සෙවන වූ කුඩා අඩිපාරක් වෙත ප්‍රවිෂ්ට විය. එය කන්දේ පහළ කොටස විය. ගමන අතරතුර පිනි වර්ෂා කිහිපයක්ද ඇදහැලෙන්නට විය. දිය බිංදු බේරෙන ගස් අතරින්ද, තරමක් ලිස්සන පොළොවට අඩි තියමින්ද අනෙකාට සවියක් වෙමින්ද ඉදිරියට ගිය මේ ගමන ඉතා අපූරු එකක් විය

උදෑසන ගමන ආරම්භ කිරීමට පෙර කිහිපදෙනෙක් පමණක් හැඳින සිටි අප, කන්ද මුදුනට ළඟා වන විට බොහෝ මිතුරන් හැඳින සිටියෙමු. දහවල් 1.00 පමණ වන විට රාක්ෂගල මුදුනට පිවිසි අපට, සති අන්තයේ කඳවුරු බැඳගත් කඳු නගින්නන් පිරිසක්ද හමුවිය. ගමනේ වූ විඩාව නිවන කඳුමුදුනේ වූ අපූරු දසුන කෙදිනකවත් අමතක කළ නොහැකි තරම් එකක් විය. අප කඳු මුදුන වෙත පිවිස විනාඩි කිහිපයක් ගතවන්නටත් මත්තෙන් අවට වටපිටාව මීදුමෙන් වැසී යන්නට විය 

කඳු මුදුනේ වූ සුළං කපොල්ලේ සීතල සුළං ගත දැවටෙද්දීම ආහාර ගත් අප, ඉන් අනතුරුව කන්ද පිළිබඳව අපූරු විස්තරයකටත් එකිනෙකා දැන හැඳින ගැනීමටත් යොමු විය. මෙහිදී ගමනෙන් ලද මතක ඡායාරූපයක් ලබා ගැනීමටද අප අමතක නොකළෙමු

අකමැත්තෙන් වුවද සවස 2.00 පමණ වන විට නැවත සරසවිය බලා ගමන් ආරම්භ කරන්නට අපට සිදු විය. අප කන්ද වෙත පැමිණි සුපුරුදු මාර්ගය ඔස්සේ නැවත ඒමට පිටත් වූ අතර නව අත්දැකීම් රැසක් අප සතු කරගත්තෙමු. වර්ෂාව ඇදහැලීමත් සමග ගමන් මඟ ලිස්සන සුළු වූයෙන්, ගමනේ මැදභාගයේදී කබයක සවියද Explorers' Club ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරියන්ගේ සවියද අපට නොමදව ලැබුණි

නැවත සවස 5.30 පමණ වන විට පහළ ගම්මානය වෙත පැමිණි අප, ගමන ආරම්භ කළ මහකන්ද බසයෙන්ම සුපුරුදු ගමන් මාර්ගය ඔස්සේ සවස 7.00 පමණ වන විට සරසවිය වෙත පැමිණියෙමු. උදෑසන හිස් සිතුවිල්ලෙන් ගමන ආරම්භ කළ අප සවස සරසවිය වෙත පැමිණෙන විට අපූරු මතක මෙන්ම නව මිතුරු මිතුරියන් රැසක්ද සමඟින් නැවත පැමිණියෙමු. ඉන්පසු සියලු දෙනා නැවතත් ගවේෂණයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් විසිර ගියේ සිතේ උපන් ඉමහත් සතුටිනි.

සටහන:
ඊ.ඒ.ඉසුරිකා සෙව්වන්දි එදිරිසිංහ (Arts 23)

No comments:

Post a Comment