Saturday, September 5, 2026

ජාතික පිච්ච මල් පූජාව සහ කැලි කසළ ඉවත් කීරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහන 2026

 

ජාතික පිච්ච මල් පූජාව හ කැලි කසළ ඉවත් කීරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහන 

ගවේෂණ අංකය :- 07

දිනය :- 2026.07.25 හ 26

අනුරාධපුර


36 වන වතාවටත් පවත්වනු ලබන ජාතික පිච්ච මල් පූජාව මෙවර ජුලි මස 25 වන දින පැවැත්වූ අතර ඊට සමගාමීව ජූලි 26 වන දින අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ගවේශකයින්ගේ සංගමය විසින් සංවිධානය කළ රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ කැලි කසළ ඉවත් කීරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහන ද සාර්ථකව නිම කිරීමට අපට හැකියාව ලැබුණි.

ඒ අනුව ජූලි මස 25 වන දින ශ්‍රද්ධා පෙරදැරිව අනුරාධපුර පිච්ච මල් පූජාවට සහභාගී වී වන්දනාමාන සිදු කළ අප පසු දින අපගේ මූලික අරමුණ වූ රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ කැලි කසළ ඉවත් කීරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහන ආරම්භ කළෙමු.

අප ගවේෂකයින්ගේ සංගමය අවසන් වරට මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ 2019 වසරේ වන අතර ඉන් පසුව මෙය සිදු කළ පළමු වතාව මෙය වීම විශේෂත්වයකි.

 

එසේම මෙම උතුම් ක්‍රියාව සාර්ථක කරගැනීමට අපත් සමග අත්වැල් බැදගත් සියල්ලන්ටම අපගේ ස්තුතිය හා ප්‍රණාමය පුද කර සිටින්නෙමු. ඒ අතර අපට රැය පහන් කිරීමට නවාතැන් පහසුකම් ලබා දුන් කැලත්තෑව පන්සලේ භාරකරත්වය දැරූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත්, අපට ආහාර මෙන්ම පිරිසිදු කිරීමේ කටයුතු සදහා අවශ්‍ය අත්වැසුම් ආදිය ලබා දී අනුග්‍රාහකත්වය දැක් වූ ශාන්ති පදනමටත් විශේෂ ගෞරවය සහ ස්තුතිය පුද කරන්නෙමු.

අවසන් වශයෙන් සදහන් කිරීමට ඇත්තේ අප, ඔබ මෙන්ම සුවහසක් දනන් මෙවැනි පින්බිමකට පැමිණෙන්නේ සිත නිවාගෙන අධ්‍යාත්මික සුවයක් ලබන්නයි. එවැනි පූජනීය ස්ථානයකින් නික්ම යන විට, අපගේ සටහන විය යුත්තේ කසළ නොව, යහපත් හැසිරීම සහ පරිසරයට දක්වන ගෞරවයයි.

එදින අප අපට කළ හැකි උපරිමයෙන් එම පරිසරය නැවත පිරිසිදු කිරීම සිදු කළෙමු. එහෙත්, පූජනීය ස්ථානයක් අපවිත්‍ර වී තිබීම අපගේ සිත් දැඩි ලෙස කම්පා කළා. ඔබට අධ්‍යාත්මික සුවය ලබා දෙන ඒ පින්බිමට එයට හිමි ගෞරවයම ලබා දීමට කාරුණික වන ලෙස අප ඉල්ලා සිටින්නෙමු. පුණ්‍ය ක්‍රියාවන්වල සැබෑ අර්ථය පිළිබිඹු වන්නේ අපගේ ක්‍රියාවලින් සහ හැසිරීමෙන් බව මතක් කරන්නෙමු.


ඉතිං, පේරාදෙණිය විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමය ලෙස, සොබාදහමට කරන ආදරයත්, පරිසරය කෙරෙහි ඇති වගකීමත්, සමාජයට සේවය කිරීමේ උතුම් චේතනාවත් ඒ හදවත්වල සදා නොනිවෙන පහන්සිළුවක් සේ දැල්වී පවතීවායි ප්‍රාර්ථනා කරමු.




සටහන:

දිතී චාරුපබා (Arts 22 පින්බරී)

No comments:

Post a Comment