Hunnasgiriya Pilot Exploration: 2026
2026.07.04
හුන්නස්ගිරිය
යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි සොබාදහමේ අපූර්ව දායාදයක්
වූ කඳු මුදුනක් සහ මනරම් ගම්මානයකි. මුහුදු මට්ටමෙන් මීටර් 1,510ක් (අඩි 4,954) පමණ
උසකින් යුත් මෙම කන්ද, නකල්ස් කඳු පන්තියේ
දක්ෂිණ දොරටුව ලෙස සැලකේ. ඓතිහාසික සාධකයන්ට අනුව මෙම කන්ද මීට පෙර "මැදමහනුවර
කන්ද" ලෙස හඳුන්වා ඇති අතර, කන්ද මුදුනේ සෙනරත් රජු (1604 - 1635) විසින් ඉදිකරන
ලදැයි සැලකෙන පැරණි බලකොටුවක හෝ මාලිගාවක නටබුන් අදටත් දැකගත හැකිය. වසර පුරාම සෙල්සියස්
අංශක 22ක පමණ සිසිල් දේශගුණයකින් යුත් හුන්නස්ගිරිය කන්ද සහ අවට ප්‍රදේශය ඝන වනාන්තර,
මීදුම් සේල, තේ වතු සහ හුන්නස් දිය ඇල්ල වැනි සුන්දර දිය දහරාවලින් පොහොසත් ය.
ස්වභාවධර්මයේ සැබෑ සිරිය සහ දේශගුණික විපර්යාසයන් අත්විඳීමේ අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය සතියේ මෙම සුන්දර කන්ද තරණය කිරීම සඳහා එක් විය.
අපගේ සංචාරය
එදින උදෑසන 6.00 ට පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර, උදෑසන 6.30 වන
විට මහනුවරින් වත්තේගම බලා පිටත් විය. උදෑසන 7.20 ට වත්තේගම නගරයට ළඟා වූ අප කණ්ඩායම,
එතැනින් පන්නිල ප්‍රදේශයට ගමන් කර උදෑසන 8.00 ට පමණ අපගේ කඳු තරණයේ සැබෑ අත්දැකීම ආරම්භ
කළෙමු.
ගමනේ මුල් භාගය
සාපේක්ෂව පහසු වූ අතර, මාර්ගය තේ වතු යායන්
මැදින් වැටී තිබුනි. කෙසේ වෙතත්, තේ වතු සීමාව පසුකර වනාන්තර කලාපයට ඇතුළු වීමත් සමඟම ගමන වඩාත් දුෂ්කර
හා අභියෝගාත්මක මුහුණුවරක් ගත්තේය. මුළු ගමන පුරාම නොනවත්වා ඇද හැලුණු වර්ෂාව සහ මුළු පරිසරයම වසාගත් මීදුම අපගේ ගමනට විශාල බාධාවක් මෙන්ම අපූරු අත්දැකීමක්ද
එක් කළේය.
මෙම ගවේෂණයේදී
අප මුහුණ දුන් තවත් අත්දැකීමක් වූයේ කූඩැල්ලන්ගෙන් එල්ල වූ දැඩි ප්‍රහාරයන් ය. වර්ෂාව
සහ තෙතමනය සහිත දේශගුණය නිසා මුළු කණ්ඩායමම කූඩැල්ලන්ගේ ගොදුරක් බවට පත් විය. පස්වරු 1.20 ට පමණ අප කණ්ඩායම හුන්නස්ගිරිය කඳු
මුදුන ලගාවීමට සමත් විය. දැඩි මීදුම නිසා කඳු මුදුනේ සිට අවට සුන්දරත්වය දැකගැනීමට
නොහැකි වුවද, මෙවැනි රළු සහ තද වැසි සහිත දේශගුණයකට මුහුණ දෙමින් ලබාගත් අත්දැකීම අප
සැමටම සුවිශේෂී එකක් විය.
අපගේ ගවේෂණයේදී
නෙත ගැටුණු සුවිශේෂී ශාක සහ සත්ව විශේෂ කිහිපයක් මෙසේය:
දුර්ලභ ශාක විශේෂ:
Christisonia bicolor Gardner වැනි අතිශය දුර්ලභ පරපෝෂිත මල් ශාකය, රට කෙටැඹිල්ල
සහ වර්ණවත් ග්ලැඩියෝලස් (Gladiolus) මල් ශාක වනාන්තරය තුළදී දැකගත හැකි විය.
සත්ව විශේෂ:
ශ්‍රී ලංකාවට ආවේණික රෑ බදුල්ලා (Sri Lanka Frogmouth) සහ වනාන්තරයේ තෙතමනය සහිත පඳුරු අතර සැඟවී සිටි විෂ සහිත පලා පොලඟා (Green Pit Viper) අපගේ නිරීක්ෂණයට ලක් විය.
කඳු මුදුනේ
මඳ වේලාවක් ගත කිරීමෙන් අනතුරුව අප ආපසු හැරුණු අතර, පස්වරු 5.30 වන විට කඳු පාමුලට
පැමිණ අපගේ කඳු තරණය සාර්ථකව අවසන් කළෙමු. ඉන්පසු සියලුම සාමාජිකයන් පස්වරු 7.30 ට
නැවතත් විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත ආරක්ෂිතව ළඟා වූහ.
මෙම සංචාරය
හුදෙක් කඳු තරණයකට වඩා කණ්ඩායම් හැඟීම සහ එකමුතුකම මැනවින් ප්‍රදර්ශනය වූ අවස්ථාවක්
විය. අධික වර්ෂාව සහ සීතල මධ්‍යයේ වුවද, කණ්ඩායමේ
සෑම සාමාජිකයෙකුම එකිනෙකාට උදව් උපකාර කරගනිමින්,
ඉදිරියට ගමන් කළහ. අපගේ මෙම ගමන සාර්ථක කරගැනීමේ රහස වූයේද එම නොබිඳුණු සාමූහිකත්වය
සහ සහයෝගයයි.
සුප්‍රසිද්ධ ‘පුංචි ලෝකාන්තය’ (Mini World's End) සහ කෝබට්ස් ගැප් (Corbet's Gap) වැනි ස්ථාන කරා යන දොරටුව අසල පිහිටි හුන්නස්ගිරිය, දුෂ්කරතා මධ්‍යයේ වුවද සොබාදහමට ආදරය කරන්නන් ජීවිතයට නව පාඩම් එකතු කරගැනීම සඳහා අනිවාර්යයෙන්ම යා යුතු අපූර්ව ගමනාන්තයකි.
සටහන:





No comments:
Post a Comment