Saturday, September 5, 2026

ලූල්කදුර ගවේෂණය: 2026

 

ලූල්කදුර ගවේෂණය: 2026

ගවේෂණ අංකය: 04

දිනය2026.07.05

විශ්වවිද්‍යාලීය ගවේෂකයන්ගේ සංගමයේ 26/27 ගවේෂණ වාරයේ 04 වන ගවේෂණය ලෙස ලූල්කදුර (කොණ්ඩගල) ගවේෂණය පසුගිය 2026 ජුලි මස 05 වන දින සිදු කරන ලදී. පෙරදී සැලසුම් කර තිබුනේ කුකුළාගල ගවේෂණය වූවත් පැවති අයහපත් කාළගුණික තත්ත්වය මත එදින උදෑසන ලූල්කදුර ගවේෂණය කිරිමට සැලසුම් වෙනස් විය.


ලූල්කදුර වතුයාය ශ්‍රී ලංකාවේ පළමු තේ වත්ත ලෙස සැලකේ. ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් 1867 දී මෙහි අක්කර 19 පමණ එළිපෙහෙළි කර ලූල්කදුර වතුයාය ආරම්භ කරන ලදී. වර්තමානයේ ලූල්කදුර වතුයාය අක්කර 2600 පමණ සමන්විත වේ. මේ ප්‍රදේශයට ලූල්කදුර යැයි නම වැටී ඇත්තේ මෙහි දිය පහර වල ලූලා නම් මසුන් බහුලව සිටි නිසා බව කියැවේ.

 පෙරවරු 8.00ට පමණ 85 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම විද්‍යා පීඨයේ සිට ගමන් ආරම්භ කරන ලදී.ගමන් මාර්ගය වැටි තිබුණෙ පේරාදෙණිය, මහකන්ද, ගලහ, දෙල්තොට හරහා ලූල්කදුර වෙතයි. පෙරවරු 9.30ට පමණ ගමන් ආරම්භක ස්ථානයට පැමිණි පිරිස පෙරවරු 10ට පමණ ගවේෂණය ආරම්භ කරන ලදී.

ගමනේ මුල් අදියර වැටී තිබුණේ දිට්වා සුළි කුණාටුව නිසා හානි වූ ෆයිනස් ගස් හා මානා පදුරු වලින් පිරි මාර්ගයකිනි. එම ගමන් මාර්ගය සම්බන්ධ වුණේ ගලහ සිට ලූල්කදුර දක්වා දිවෙන Pekoe Trail 2 වන අදියරටයි. එම ගමන් මාර්ගය ඔස්සේ ලූල්කදුර වතුයායට ළගාවූ පිරිස ටේලර් මහතාගේ බංගලාවේ නටබුන් නැරඹීමෙන් අනතුරුව කොණ්ඩගල තරණය සදහා ගමන් ආරම්භ කරන ලදී. කොණ්ඩගල යනු මීටර 1450 පමණ උස කදු මුදුනකි. පස්වරු 1ට පමණ කදු මුදුනට ළගාවූ පිරිස දිවා ආහාරය ගෙන ඡායාරූප ද ලබා ගන්නා ලදී. ඉන්පසු පැමිණ සිටි පිරිස හදුනා ගැනීමෙන් අනතුරුව සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික නදුන් (උනන්දු) සහෝදරයා විසින් පිරිස වෙත කදු මුදුනේ සිට පෙනෙන දර්ශන පථය පැහැදිලි කරන ලදී.

 

හන්තාන කදු පන්තිය, කටුසු කොන්ද, අලගල්ල, බතලේගල, රජගල, කුකුළාගල, අම්බොක්ක, ඇටිපොල, හුන්නස්ගිරිය, දෝතලුගල, දුම්බානාගල, නකල්ස් කදු පන්තිය, මොණරගල, දොළොස්බාග කදු පන්තිය ආදී තවත් සුවිසල් දර්ශන පථයක් කොණ්ඩගල මුදුනට දැකගත හැකිය.



පස්වරු 2.30ට පමණ ආපසු ගමන් ඇරඹී පිරිස ජේම්ස් ටේලර් ගේ ආසනය ( Taylor's Seat ) වෙත පැමිණෙන ලදී. එහි මද වේලාවක් පිරිස රැදී සිට අතර ජේම්ස් ටේලර් ලූල්කදුර වතුයායට කොතරම් ඇලුම් කළ ද යන වග බිනරමලී සහෝදරිය විසින් විස්තරයක් ද කරන ලදී. ඉන්පසු පිරිස තේවතු පිරි වෙනත් මාර්ගයක් ඔස්සේ ගමන් කර අප පැමිණි බස් රථයට ළගා විය. පස්වරු 6.30 පමණ වන විට නැවත විශ්වවිද්‍යාලය කරා පිරිස පැමිණි අතර සංගමයේ ගීත දෙක ගායනයෙන් අනතුරුව සියලු දෙනා විසිර ගියේ ඉදිරියේ තවත් ඉරිදාවක නවතම ගවේෂණයක් සිදු කිරිමේ අරමුණ ඇතිවයි.


සටහන:

P.M.N. Nirmal (Yamaya - Agri 23)


No comments:

Post a Comment