Saturday, September 5, 2026

Arangala Pilot Exploration: 2026

 Arangala Pilot Exploration: 2026


අරංගල කදු තරණය

2026 ජූනි 23 වැනි ඉරිදා 

අභියෝග , ස්වාභාව සෞන්දර්ය හා අමතක නොවන මතකයන්


ස්වාභාවධර්මය සමග ගත  කරන කාලය මිනිසාගේ සිතට හා ගතට නව ජීවයක් එක් කරයි. විශේෂයෙන් කදු තරණය යනු ශාරීරික ශක්තිය , මානසික ධෛර්යය , කණ්ඩායම් හැගීම සහ ස්වාභාවධර්මය පිළිබඳ ආදරය වර්ධනය කරන අපූරු ක්‍රියාකාරකමකි. එවැනි අමතක නොවන අත්දැකීමක් ලෙස අපගේ කණ්ඩායම අරංගල කන්ද තරණය කිරීමේ අවස්ථාව හිමි කර ගත්තෙමු.

අරංගල කන්ද මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශය ආසන්නයේ පිහිටි  මනරම් කදු මුදුනකි.  මුහුදු මට්ටමෙන් මීටර් 750ක් පමණ උසැති මෙම කන්ද , කදු මුදුනේ සිට අවට ප්‍රදේශයේ අංශක 360ක දර්ශනයක් ලබා දීම නිසා කදු නගින්නන් අතර ඉතා ප්‍රසිද්ධය.  මෙම කන්දෙහි හැඩය කනට පලදින "අරුංගල්" යුවලක හැඩයට සමාන වන නිසා මෙයට අරංගල යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ සදහන් වේ. අරංගල කදු වැටිය ප්‍රධාන වශයෙන්  කදු මුදුන් 3කින් සමන්විත වේ.


1818 බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඇති වූ ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේදී වීර කැප්පෙටිපොළ , ගොන්ගාලේගොඩ බණ්ඩා සහ වීරපුරන් අප්පු වැනි ජාතික වීරයන් තම සේනාවන් සංවිධානය කිරීමට සහ රහසිගත හමුවීම් වලට මෙම කන්ද ආරක්ෂිත ස්ථානයක් ලෙස  භාවිතා කර ඇත.

කදු මුදුනේ සිට බෝවතැන්න ජලාශය, නාලන්දා ජලාශය, මොරගහකන්ද ජලාශය, කරගහතැන්න, ගම්මඩුව, වීල්ෂයර්, බ්‍රැන්ඩිගල, ඇටපොල, හුන්නස්ගිරිය, අම්බොක්ක, යක්කුරගල, පිදුරංගල, සීගිරිය සහ නයංකුඹුර කදු පන්තිය දැක ගත හැක.

පේරාදෙණිය විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද අරංගල කදු තරණය විවිධ පීඨවල සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවති අතර ස්වාභාව සෞන්දර්ය විද ගැනීමට, නව මිත්‍රත්වයන් ගොඩ නගා ගැනීමට සහ අභියෝගාත්මක කදු තරණයක නිරත වීමට ලැබුනු අමතක නොවන අත්දැකීමක් විය.


2026 ජූනි 23 වැනි ඉරිදා උදෑසන 7.30ට අප පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් අරංගල බලා පිටත් විය. ගවේෂකයින්ගේ සංගමයේ ජෙෂ්ඨ සාමාජිකයින්ගේ උපදෙස් හා ආරක්ෂක මාර්ගෝපදේශයන්ට අනුව අපි උද්‍යෝගයෙන්  ගමන ආරම්භ කළෙමු. උදෑසන 8ට පමණ නුවරින් පිටත්ව ගිය අප, සුන්දර කදුකර මාර්ග ඔස්සේ ගමන් කරමින් 9.45ට අරංගල කදු පාමුලට ළගා විය.

කෙටි විවේකයකින් පසු 10.10ට කදු තරණය ආරම්භ කළෙමු. මුල් අධියර සාපේක්ෂව පහසු වුවද ඉහළට යාමත් සමග බෑවුම් සහිත ගල් මාර්ග, පටු පාරවල් හා අභියෝගාත්මක කොටස් හමු විය. එවැනි අවස්ථාවල එකිනෙකාට සහයෝගය ලබා දෙමින්, ගවේෂකයින්ගේ සංගමයේ ජෙෂ්ඨ සාමාජිකයින්ගේ මග පෙන්වීම යටතේ ආරක්ෂිතව ඉදිරියට ගමන් කළෙමු. 


දහවල් 12.05ට දෙවන කදු ශිකරය වෙත ළඟා වූ අපට කදු වැටි, හරිත වනාන්තර හා ජලාශ වලින් සමන්විත මනරම් දර්ශන පථයක් නැරඹීමට අවස්ථාව ලැබුණි. එහිදී සමූහ ජායාරූප ලබා ගනිමින් එම සුන්දර මොහොත සදාකාලික මතකයන් බවට පත් කර ගත්තෙමු.

නැවතත් ගමන ආරම්භ කළ අපි දහවල් 1.30ට තෙවන ශිඛරයට ළගා වූ අතර එහි සිට දිස් වූ අසිරිමත් දර්ශනය අපගේ සියලු වෙහෙස අමතක කළහ. ඉන් අනතුරුව 2.40ට පළමු ශිඛරයට ගමන් කිරීමේදී එකවර ඇද හැලුණු වර්ෂාව අපගේ වෙහෙස නැති කිරීමට සමත් විය. කදු මුදුනේ සිට හමා ආ සිසිල් සුළග සහ අවට පැතිරුණු හරිත පරිසරය සිතට  අපූරු සැනසීමක් ලබා දුන්නේය. 

දහවල් 2.50ට නැවත පහළට බැසීම ආරම්භ කළ අප 3.50 වන විට කදු පාමුලට සාර්ථකත්ව, ඉක්මනින් හා පහසුවෙන් ළගා විය. ඉන් අනතුරුව 4.35ට නැවත නුවර බලා පිටත්ව ගොස් හවස 6.30ට නුවරට පැමිණි අතර අවසානයේ 7.30ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ළගා විය.




මෙම අරංගල කදු තරණය හුදෙක් චාරිකාවක් පමණක් නොව කණ්ඩායම් හැගීම, නායකත්වය, අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යාම සහ ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම කියා දුන් අගනා අත්දැකීමක් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම කදු තරණය අපගේ විශ්ව විද්‍යාල ජීවිතයේ අමතක නොවන මතකයක් ලෙස සදා හදවත්වල රැදී පවතිනු ඇත.


සටහන:

A.N. රාජසිංහ සහ J.P.T.දිල්මිනි

No comments:

Post a Comment