හන්තාන ගවේෂණය
- 2026
දිනය :- 2026.06.14
ගවේෂණ අංකය
:- 01
ගමන් මාර්ගය
:- පේරාදෙණිය - හන්තාන - පේරාදෙණිය.
හැඳින්වීම
මහනුවර
ඓතිහාසික පුරවරයට නිරිත දෙසින්, සරසවි බිමට මායිම් ව පිහිටි මෙම ස්වාභාවික දායාදය,
මධ්‍යම කඳුකරයේ පාරිසරික සමතුලිතතාව සුරකින තීරණාත්මක බලකොටුවක් ලෙස හඳුන්වා දිය හැකි
ය. මහනුවර නගර සීමාවේ සිට ගලහා නගරය දක්වා ව්‍යාප්ත වන මෙම කඳුවැටිය, පරිපාලනමය වශයෙන්
ගඟවට, පාතහේවාහැට, උඩපළාත, දොළුව සහ දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට
අයත් වන ස්වාභාවික රක්ෂිතයකි.
හන්තාන
යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානත ම ජල මූලාශ්‍රය වන මහවැලි ගඟේ ප්‍රධාන පෝෂක කලාපයකි. මෙහි
ඇති අප්‍රමාණ ජෛව විවිධත්වයත්, සංවේදී පාරිසරික පද්ධතියත් හේතුවෙන් ම, 2010 පෙබරවාරි
මාසයේ දී ජාතික පාරිසරික පනත යටතේ මෙය “පාරිසරික ආරක්ෂිත ප්‍රදේශයක්” ලෙස නිල වශයෙන්
ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධතිය ආරක්ෂා
කරගැනීමට මෙසේ නීතිමය ආවරණයක් ලැබීම ඉතා වැදගත් පියවරකි.
භූ
විෂමතා ලක්ෂණ පිළිබඳව සැලකීමේදී, හන්තාන යනු ප්‍රධාන කඳු මුදුන් හතකින් සෑදුම්ලත් දර්ශනීය
කඳු පන්තියකි. සාමාන්‍යයෙන් මහනුවර දෙස සිට බලන විට සන්නිවේදන කුළුණු පිහිටි ස්ථානය
පළමු කඳු මුදුන ලෙස සැලකෙන අතර, මුහුදු මට්ටමේ සිට මීටර් 1200 ක් (අඩි 3800 ක් පමණ)
උසින් පිහිටි “ඌරා කොටූ ගල” (ඌරාගල) මෙහි උසම සහ අභියෝගාත්මකම කඳු මුදුන ලෙස කැපී පෙනේ.
“හන්තාන” යන නාමය නිර්මාණය වීම පිටුපස ද රසවත් ජනප්‍රවාද රැසක් පවතින අතර, කඳුවැටිය
පුරා තනි පෙළට පිහිටි මෙම ප්‍රධාන කඳු මුදුන් හත පදනම් කරගනිමින් මෙම නාමය පටබැඳුණු
බව ජනප්‍රවාදයේ වඩාත් ප්‍රචලිත මතයයි.
අද
වන විට කඳු නැගීමේ සහ ස්වාභාවික පරිසරය විඳගැනීමේ අපූරු නිකේතනයක් බවට පත්ව තිබෙන හන්තාන,
අප අනාගත පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කළ යුතු ජාතික සම්පතකි. පාරිසරික වටිනාකම මෙන්ම
සංස්කෘතික හා සන්දර්ශනාත්මක වටිනාකම අතින් ද අසමසම වන හන්තාන සුරැකීම, සරසවි ප්‍රජාව
ලෙස පමණක් නොව මුළු මහත් ජාතියේම වගකීමක් වන්නේ ය.
දේශගුණය
මධ්‍යම
කඳුකරයේ අතරමැදි තෙත් කලාපයේ කොටසක් වන හන්තාන ප්‍රදේශයට ආසන්න වශයෙන් මිලිමීටර්
2000 ක සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබේ. ප්‍රධාන වශයෙන් ඊසාන දිග සහ නිරිතදිග මෝසම් වර්ෂාව
මගින් පෝෂණය වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 23 -25 අතර උච්චාවචනය වේ. ජනවාරි සිට මාර්තු
දක්වා වියළි කාලගුණයක් පවතින අතර, කඳු මුදුන් නිරන්තරයෙන් ඝන මීදුමෙන් වැසී පවතී.
සුන්දර
හන්තාන කඳුවැටියේ ජෛව විවිධත්වය
හන්තාන
කඳුවැටිය යනු පාරිසරික වශයෙන් ඉතා ඉහළ අගයක් ගන්නා, ජෛව විවිධත්වයෙන් පිරිපුන් කලාපයකි.
එහි ස්වාභාවික වනාන්තර, පතන, තෘණ භූමි, පයින් වගාවන් සහ තේ වතු ආදී විවිධ පරිසර පද්ධති
රැසක් දැකිය හැකිය.
ශාක විවිධත්වය
කඳුවැටියේ ඉහළ කොටස්වල පිහිටි පතන බිම්වල ප්‍රධාන වශයෙන්
පැඟිරි, මානා, ඉලුක්, පිණිබරු සහ ගිනි තණ වැනි තණ වර්ග බහුලව ව්‍යාප්ත වී ඇත.
ස්වාභාවික වනාන්තර කොටස් තුළ නුග, දඹ, බදුල්ල, වනසපු, හවරි
නුග, දිවි කඳුරු, කැටබොඩ, කැටකළු බෝවිටියා, මහා බෝවිටියා, ගම්මාලු, දෙතුළු, ගල් ගොරකා,
නෙල්ලි, මදටිය සහ දවුල් කුරුඳු වැනි ස්වාභාවික ගස් සහ ඖෂධීය ශාක හමුවේ.
තෙතමනය සහිත නිම්න හා ගල්පර අතර විවිධ වනචාරී ඕකිඩ්
(Wild Orchids) වර්ග සහ මීවන ශාක (Ferns) බහුලව වැවේ.
ගස් කඳන් මත වැවෙන ලයිකන සහ පාසි වර්ග.
සතුන්
විවිධත්වය
විවිධ
පරිසර පද්ධතිවලට හිමිකම් කියන හන්තාන, ක්ෂීරපායින්, පක්ෂීන්, උරගයින් සහ සමනලුන් රැසකට
සුරක්ෂිත නිවහනකි.
හඳුන්
දිවියා (Prionailurus rubiginosus), මුවැත්තා/මීමින්නා (Mouse deer), වල් ඌරා, ලේනා,
හාවා, මුගටියා සහ හෝතඹුවා, ඉත්තෑවා සහ නරියා ,කළු වඳුරා සහ රිළවා වැනි ක්ෂීරපායින්
ද
ශ්‍රී
ලංකා වලි කුකුළා, රතු මුහුණත් කොට්ටෝරුවා, ශ්‍රී ලංකා සැළලිහිණියා, ගිරා මල්පොච්චා
සහ හිස අළු දෙමළිච්චා වැනි ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ ද, නීල කොබෙයියා, ලබු ගිරවා,
කඳුකර මයිලගොයා, පංචිකා, වැටු පොල්කිච්චා සහ විවිධ උකුස්සන් වර්ග වැනි කඳුකර පරිසරයට
ආවේණික පක්ෂි විශේෂ ද,
පිඹුරන්,
තිත් පොළඟුන්, ඇහැටුල්ලන් සහ ගැරඬින් වැනි සර්ප විශේෂයන් ද, විවිධ කටුස්සන් සහ ගෙම්බන්/ගස්ගෙම්බන්
වර්ග ද
වැසි
කාලගුණය පවතින අවස්ථාව වලදී පරිසරය තුළ බහුලව දැකගත හැකි කූඩැල්ලන් ද,
මෑත
කාලීනව හන්තාන කඳු මුදුන් ආශ්‍රිතව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බඹරුන් ද දැකගත හැකිය
දර්ශන පථය
හන්තාන කඳු
මුදුන තරණය කිරීමෙන් අනතුරුව එහි ඇති 360° ක මනරම් දර්ශන පථය නිසා පහත ස්ථානය පැහැදිලිව
දර්ශනය වේ.
විල්ෂයර් ඇටේපොල කන්ද දිවිදෝසගල දොළුකන්ද යක්දෙස්සාගල අලගල්ල බැලුම්ගල මුදලිවත්ත ඌරා කන්ද බතලේගල මහවැලි ගඟ පේරාදෙණිය ගම්පොළ අම්බුළුවාව රාක්ෂගල කබරගල ශ්‍රී පාදය Peacock Hills (මොනර කන්ද) පිදුරුතලාගල කඳුපන්තිය කොණ්ඩගල මහකුඩුගල කුකුළාගල VRR කඳුපෙට්ටිය රජගල නකල්ස් කඳු පන්තිය හුන්නස්ගිරිය
ගවේෂණ සටහන
2026/27 නව ගවේෂණ වාරයේ
ආරම්භය සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ගවේෂකයින්ගේ සංගමය වන අපි, අපගේ
පළමු ගවේෂණය වන සුන්දර වූ හන්තාන කඳුවැටිය තරණය කිරීමට සියලු කටයුතු සූදානම් කළෙමු.
2026 ක් වූ ජූනි මස 14 වන දින අපි සියලු දෙනාම විද්‍යා පීඨ පරිශ්‍රයට රැස්වූයේ හන්තාන
ගවේෂණය ආරම්භ කිරීමටයි. මෙම ගවේෂණ වාරයේ නව සභාපති සොහොයුරාගේ මූලික දැනුවත් කිරීම්
වලින් අනතුරුව, 168 ක් පමණ වූ අපි සියලු දෙනා කණ්ඩායම් 04 කට බෙදී වෙන් වූයේ හන්තාන
ගවේෂණයේ දී ශාක, සතුන්, භූ විෂමතා ලක්ෂණ හා පරිසර හානිය පිළිබඳව වැඩි දුරටත් අධ්‍යයනය
කිරීමේ අරමුණිනි.
කාලගුණයද ඉතා යහපත්
තත්ත්වයක පැවැතියේ අපගේ නව ගවේෂණ වාරයට ආශීර්වාද කරන්නාක් මෙනි. උදෑසන 8.30 ට පමණ විද්‍යා
පීඨය අසලින් ගමන ආරම්භ කළ අපි රජවත්ත, බෝවලවත්ත මාර්ගය ඔස්සේ උදෑසන 10.00 පමණ වන විට
ආරාණ්‍ය සේනාසනය අසලට පැමිණියෙමු. එතැන් සිට ගමන ඇරඹූ අපි නිරන්තරයෙන් ඉදිරියට ඇදුණේ
සියලු දෙනාගේම ආරක්ෂාව හා සුවපහසුව පිළිබඳව
විමසිලිමත් වෙමිනි. අසීරු, අපහසු ස්ථාන වලදී සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ දෑත අප
වෙත දිගු වූයේ සැබෑ සොහොයුරත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමිනි.
මධ්‍යහ්න 12.30 පමණ
වන විට අපට කිසිදු බාධාවකින් තොරව හන්තාන කඳුවැටියේ ගල්පොත්ත ආසන්නයට පැමිණීමට හැකියාව
ලැබුණි. අනතුරුව අපි එතැනම හිඳ සැවොම එකතු වී දහවල් ආහාරය ගත්තෙමු. හන්තාන කඳුවැටිය
හරහා හමායන සුළං ප්‍රවාහය අප ගත ස්පර්ශ කළේ වෙනස්ම අත්දැකීමක් අපට ලබා දෙමිනි. පසුව
අපි එකිනෙකා හඳුනා ගත් අතර අප සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන් ඔවුන්ගේ ගවේෂණ අත්දැකීම්
අපත් සමඟ බෙදාගන්නට විය. වැසිබර කාලගුණය පහව ගොස් තිබූ නිසාම අප අපේක්ෂා කළ 360° ක
මනරම් දර්ශන පථය දැක බලා ගැනීමට අපට ඉඩ ප්‍රස්ථාව සැලසිණි.
ඉන් පසුව අපි සුළං කපොල්ල
වෙත ළඟා වූයෙමු. හන්තාන සුළං පහස ද විඳගත් අපි සමූහ ඡායාරූපද ගැනීමෙන් අනතුරුව CP2
තේ වත්ත පසුකරමින් පයින්ස් කැලය මැදින් නැවතත් ගමන ඇරඹුවෙමු. වියළී ගිය පයින්ස් පත්‍ර
පලසක් මෙන් බිම අතුරා තිබුණේ අපගේ ගමනට ලිස්සන සුළු ස්වභාවයක්ද එක් කරමිනි. දර්ශනීය
පයින්ස් කැලය පසු කළ අපි පස්වරු 5.00 පමණ වන විට ඉහළ හන්තාන නිකේතනය අසලට පැමිණ නැවත
උඩ පේරාදෙණිය මාර්ගය ඔස්සේ පස්වරු 6.30 පමණ වන විට විද්‍යා පීඨ පරිශ්‍රයට ළඟා වූයේ
සුන්දර වූ අත්දැකීම් රැසක් අප මතක ගොන්නට එක්කාසු කර ගනිමිනි.
අපි පැමිණෙන විට අප
වෙනුවෙන් ගවේෂකයින්ගේ සංගමයේ සෙසූ සාමාජික සාමාජිකාවන් රසවත් තේ පැන් සහ බිස්කට් සංග්‍රහයක්
සූදානම් කොට තිබිණි. විඩාවර වූ අපි එය භුක්ති විඳ අපගේ මහන්සිය දුරුකර ගත්තෙමු. අනතුරුව
අපි සියලු දෙනාම එකතු වී අපගේ ගීත දෙක ගායනා කොට එකිනෙකාට සමුදී පිටව යන්නට සූදානම්
වූයෙමු. සුන්දර වූ හන්තාන කඳුවැටිය තරණයෙන්ම ලද මතක සහ අත්දැකීම් අපගේ මතක පොතට එකතු
කරගෙන අපි මෙලෙස විසිර ගියේ අපගේ ගවේෂණ වාරයේ පළමු ගවේෂණය සාර්ථකව අවසන් කරමිනි.
සටහන:
මහේෂ් ඒකනායක
(Arts 21 මොල්ලියා)

No comments:
Post a Comment