හදුරුක්කන්ද ගවේෂණය 2025/26
ගවේෂණ අංකය : 04
දිනය : 2025.07.27
ගමන් මාර්ගය: පේරාදෙණිය → මාවතගම → තැම්පාන → මාවතගම → පේරාදෙණිය
පිහිටීම: තැම්පාන
https://maps.app.goo.gl/3sqb6MjZGpXJCCmY7
හැදින්වීම:
වයඹ පළාතේ උසින් වැඩිම කඳු අතරින් දෙවැනි තැන ගන්නා හඳුරුක්කන්ද වටිනා ජෛව විවිධත්වයක් දැකගත හැකි සුන්දර රක්ශිතයකි. මෙම කන්ද මුහුදු මට්ටමේ සිට උස මීටර් 790ක් පමණ වේ. එමෙන්ම එක් දිනක් තුල තරණය කල හැකි අතර කුරුණෑගල නගරයේ සිට 16 km ක් පමණ දුරකින් පිහිටා ඇත. උස් කන්දක් වුවද මෙය සාපේක්ෂව පහසු මට්ටමේ සංචාරයකි. හඳුරුක්කන්ද වටා පවතින භූමිස්වභාවය, කඳුකර දර් ශන පථය, තේ වතුයාය සහ වනාන්තර වලින් යුක්ත වූ අලංකාර ස්වභාවික පරිසරයකි. මෙහි පැමිනෙන්නෙකුට ඒ ආසන්නවම පිහිටා ඇති තැම්පාන ජලාශයද නැරඹීමට හැකියාව ඇත.
පරිසර පද්ධතිය : කඳුකර ලදු කැලෑ ( Tropical Montane Forest)
දැකිය හැකි සතුන් - :
කඳුකර පරිසර පද්ධතියක් හඳුනාගත හැකි අතර මෙහි ජීවත් වන සත්ව විශේෂ කිහිපයකි. කඳු ආශ්‍රිත පක්ෂි විශේෂ කිහිපයක් ද, කටුසු විශේෂ සහ උරග විශේෂ ලෙස සර් පයින්ද මෙහි දැක ගත හැකිය. වැලි මුවන්,මී මින්නන්, වල් ඌරන්, කබල්ලෑවන්, ඉත්තෑවන් වැනි සතුන් මෙන්ම සමනලුන් ද දැකගත හැකිය. මද වැසි සහිත සහ තෙත් කලාපීය පරිසර පද්ධතියක් නිසාවෙන් කුඩැල්ලන් බහුල ලෙස හමු වේ.
දැකිය හැකි ශාක -:
හදුරුක්කන්ද පරිසර පද්ධතිය තුල මීවන,වේ වැල්, පුස් වැල්, තිත්ත ඇට වැල් වැනි ස්වදේශීය (native) ශාක මෙන්ම ස්වදේශික (endemic) ශාකද දැක ගත හැකිය. එලෙසම ලංකාව තුල පමනක් පවතින හීන්බෝවිටියා ශාකයද බහුලව දැකගත හැකි වේ. එලෙසම ආක්‍රමණකාරී ශාක (invasive species) කිහිපයක්ම දැක ගත හැකි වේ. (කට කලු හීන්බෝවිටියා, Clidemia hirta, Mimosa pigra, Weddella trilobata) එලෙසම පහත් කුලයට අයත් පාසි, අං ශාක, අක්මා ශාක වර්ග කීපයක් ම දැක ගත හැකි වේ. (Lycopodium, Poganatum)
දර්ශන පථය -:
ඇතුගල,අදාගල,මරලුවාව, බිසෝගල, නැව්ගල, සැලගම, අලගල්ල,හුන්නස්ගිරිය
මානව ක්‍රියාකාරකම් :
කඳු බෑවුමට වන්නට මිනිසුන් අතළොස්සක් පමණ වන කුඩා ගම්මාන ඇත. කදු මුදුනට වන්න මෑතකදී ඉදිකිරීම් අරම්භ වූ නිවාස කිහිපයක් දැක ගැනීමට හැකි විය.පහල ප්‍රදේශයේ තේ වගාවක් පැවති අතර ඒවා ජෛව විවිධත්වයේ වෙනස්කම් සඳහා ද දායක වී ඇත. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දේශීය විශේෂවල වාසස්ථාන අහිමි වී ආක්‍රමණශීලී විශේෂ පැතිරීමට හේතු වී තිබේ. අනවසර ඉදිකිරීම් වැනි තත්ත්වයන්ද මෙහිදී දැක ගත හැකි විය.
ගවේෂණ සටහන :
විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමය විසින් 2025/26 ගවේෂණ වාරයේ 04 වන ගවේෂණය ලෙස හදුරුක්කන්ද තරණය කිරීමට තීරණය කළෝය. 2025.07.27 වන ඉරුදින උදෑසන 07.40 පමණ වන විට ගවේෂණය සඳහා සූදානම් ගවේෂකයන් 93 ක් විශ්ව විද්‍යාල විද්‍යා පරිශ්‍රයට සම්බන්ධ වී සිටියෝය. උදෑසන 08.20 පමණ වන විට හදුරුක්කන්ද ගවේෂණයට සියලුම ගවේෂකයන් සූදානම් විය. මෙහිදී සංගමයේ සභාපති සහෝදරයාගේ උපදෙස් මත ගමන් ආරම්භයට පෙර පිරිස කණ්ඩායම් 04 කට බෙදුණු අතර ඒ කණ්ඩායම් විසින් ගවේෂණයට අදාළ සතුන්, ශාක, භූ විෂමතාවය,
මානව ක්‍රියාකාරකම් හා ඒ මඟින් වර්තමානය වන විට ඇති වී ඇති වෙනස්කම්, බලපෑම් පිළිබඳව තොරතුරු සෙවීමට සහ ඡායාරූප ගැනීමට දැනුවත් විය.
මෙලෙස ගමනාරම්භ කළ අප මාවතගම පසු කර හඳුරුක්කන්ද තරණයට සූදානම් වූයේ පෙරවරු 10.20 ට පමණය. ආරම්භය තරමක් පහසු කඳු තරණයක් වූවත් මුදුනට ආසන්නව පැවති දැඩි බෑවුම් ගතියත් පොලවේ ලිස්සන සුලු ස්වභාවයත් අධික කූඩැල්ලන් ගහණයත් හේතුවෙන් අපගේ ගමනාන්තය වන හදුරුක්කන්ද මුදුනට පැමිනියේ පස්වරු 02.00ට පමනය. වටේට පැවති ගස්වැල් හේතුවෙන් දර්ශන පථය තරමක් අවහිර විය.
මුදුනේදී විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ ජ්‍යේෂ්ඨ සාමාජික සහෝදර සහෝදරියන් විසින් හඳුරුක්කන්ද සම්බන්ධ විස්තර කථනයක් සිදුකළ අතර එහිදී පෙනෙන දර්ශන පථය, මෙහි පවතින ස්වභාවික හඳුරුක්කන්ද පරිසරය, භූ විෂමතාවය, ශාක හා සත්ව ප්‍රජාව පිළිබඳව මෙන්ම වර්තමානයේ සිදු කෙරෙන මානව ක්‍රියාකාරකම් හා එහි බලපෑම් පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ලබා දුන්හ. කඳු මුදුනේ සිට ඡායාරූප ගැනීමටද අවස්ථාව ලබා දුන්නේ සියලුම සාමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව
සැලකිලිමත් වෙමිනි.
කඳු මුදුනේදී මුහුණ පෑමට සිදු වූ ඉඩ අඩු තත්වය හේතුවෙන් නැවත කන්ද බැසීමට සිදු විය. පහලට බැසීමේදී හමුවුනු කුඩා අම්බලමක් වැනි ඉදිකිරීමක් තුල සිට දිවා ආහාරය ගත් අප ඉන් පසුව ගවේෂණයට සහභාගී වූ සියලු දෙනාම හඳුනා ගැනීම සිදු කළ අතර පසුව එදින අප ගවේෂණයට සහභාගී වූ විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ ජ්‍යේෂ්ඨ සාමාජික සහෝදර සහෝදරියන් ඔවුන්ගේ අත්දැකීම් අප සමග බෙදාගත් හ. ඉන්පසුව ආ මග ඔස්සේම නැව කන්ද බැසීමු. මෙහිදී අපට දැකගත හැකි වූ විශේෂ නිරීක්ෂණයක් වන්නේ කඳු බෑවුමට වන්නට සුළු වශෙයන් පිරිස් කුඩා ගම්මාන ලෙස මෙහි පදිංචිව සිටින බවත් ය. මේවා නිරීක්ෂණය කරමින් අප නැවත බස් රථය වෙත පැමිණීමේදී පස්වරු 04.30 ට පමණ වූ අතර නැවත විශ්ව විද්‍යාලය වෙත පැමිණීමේදී 06.15 ට ආසන්නව තිබුණි. මෙලෙස හදුරුක්කන්ද ගවේෂණය සාර්ථකව අවසන් කළ අප සුපුරුදු ගීත දෙක ගායනා කර, පැමිණි සියල්ලන්ටම සතුටින් සමු දුන්නේ නැවත දිනකදී තව ඉසව්වක ගවේෂණයකදී හමු වන බලාපොරොත්තුවෙනි.
Photo Album :
https://www.facebook.com/share/p/15eXdA5hxG/?mibextid=wwXIfr
සටහන :
නුවංගි පෙරේරා (Science 21 nonstop)
හශ්නි කාවින්ද්‍ය (Science 21 ගම්මිරිස්)
No comments:
Post a Comment