විශ්වවිද්යාල ගවේෂකයන්ගේ සංගමයේ 23/ 24 ගවේෂණ වාරයේ, 10 වන ගවේෂණය වන Peacock hill ගවේෂණය 2023/10/22 දින සිදු කරන ලදී.
ගමන් මාර්ගය :-
පේරාදෙණිය - ගම්පොල - පුස්සැල්ලාව - peacock hill - ගම්පොල - පේරාදෙණිය
ගවේෂණ මට්ටම :- සාමාන්‍ය
පිහිටීම :- https://maps.app.goo.gl/VtEv7GdrNPq6CQb3A
මහනුවර - නුවරඑළිය මාර්ගයේ සැතපුම් 23ක් ගියවිට පුස්සැල්ලාව නගරයට ආසන්නව මුහුදු මට්ටමෙන් අඩි 4981 (1518m) උසකින් මෙම peacock hill හෙවත් මොණර ගල පිහිටා තිබේ. ඈත සිට බැලූ විට කදු වැටියේ ඉහල කොටස මොනර හිසකින්ද ඊට පහලින් ඇති ශිකර නෙරුම මොනර හොටක් ලෙසද දිස්වන නිසා මෙයට peacock hill හෙවත් මොණර ගල නම ලැබුනු බවට සදහන් වේ.
පරිසර පද්ධතිය :- කඳුකර ලඳු කැලෑ(Cloudy Forest)
කාලගුණය :- මද වැසි සහිත කාලගුණයක්
දර්ශන පථය
කොත්මලේ ජලාශය, හන්තාන , බතලේගල, කබරගල, රාක්ශාව, ලූල් කදුර, අටබාගේ, පිදුරුතලාගල, නකල්ස් කදු, පූනා ඔය, අම්බුලුවාව
දැකිය හැකි ශාක
කන්දේ විශාල වපසරියක් පයින් ශාක වලින් යුක්ත වන අතර අසල කැලෑ ප්රදේශය තුල මහානාග, හිගුරු, නියගලා, පින්න වැනි ශාකද ලයිකන, පාසි ආදිය බැදුණු ශාක විශේෂ ද ඇත.
මීවන - Ferns
මීවන යනු බීජ හෝ මල් නොමැති බීජාණු හරහා ප්‍රජනනය වන සනාල ශාක සමූහයකි. ඒවා පාසි වලින් වෙනස් වන්නේ සනාල වීමෙනි. මීවන විශේෂයන් දුරස්ථ කඳු උන්නතාංශවල සිට වියළි කාන්තාර පාෂාණ මුහුණු, ජල කඳන් හෝ විවෘත කෙත්වතු දක්වා විවිධාකාර වාසස්ථානවල ජීවත් වේ.
පාසි
- Pincushion moss
විද්‍යාත්මක නම : Leucobryum glaucum
බහුලව උතුරු අර්ධගෝලයේ සෞම්‍ය වනාන්තරවල වාසය කරන අතර එහි ව්‍යුහය ලෝහ අයන අවශෝෂණය කිරීමට ඉඩ සලසයි.
Creeping
raspberry
Scientific
name: Rubus calycinoides
Common Yellow Woodsorrel
දැකිය හැකි සතුන්
කොණ්ඩයා, පොල්කිච්චා, බමුණු පියාකුස්සා සහ කඳු ආශ්රිත පක්ෂින් විශේෂ ද, සර්පයින්, කටුස්සන්, ඇතුලු උරඟ විශේෂ ද ක්රිම්සන් ක්රෝ, බ්ලූ මෝමර් වැනි සමනලයින් හා කෘමීන් විශේෂ ද, ඌරන්, මීමින්නන් වැනි ක්ෂිරපායින් විශේෂ ද ඇත.
කෘමීන්
විද්යාත්මක නම ; Coelophora
inaequalis
නිතරම දක්නට ලැබෙන lady bird වර්ගයට අයත් කෘමි විශේෂයකි. ඕස්ට්‍රේලියාවට, ඕෂයනියාවට හා දකුණු ආසියාවට ආවේණික වේ.
කූඩැල්ලන්
විද්යාත්මක නම : Hirudinea sp.
කූඩැල්ලන් යනු Annelida කුලයට අයත් Hirudinea උප කාණ්ඩයට අයත් වන ඛණ්ඩනය කරන ලද පරපෝෂිත හෝ කොල්ලකාරී සත්ත්ව විශේෂයකි. මොවුන් තෙත් කලාපීය පරිසරවල බහුලව හමුවේ. මොවුන්ට දිගු හා හැකිලීමට හැකි මෘදු, මාංශපේශී කොටස් සහිත සිරුරු ඇත.
දළඹුවන්
The oak eggar - Lasiocampa quercus
මොවුන් විවිධ ශාක විශේෂ මත පෝෂණය වන අතර ඉහළ අක්ෂාංශ වල වසර දෙකක් පුරා වර්ධනය විය හැක. ජීවන චක්රය සම්පූර්ණ කිරීමෙන් පසු oak eggar නම් සළඹයක් බවට පත් වේ.
පළඟැටියන්
විද්යාත්මක නම : Magicicada septendecim
කැනඩාව සහ එක්සත් ජනපදයේ නිජබිම වන අතර එය වසර 17ක ජීවන චක්රයක් සහිත කෘමීන් විශේෂයකි.
මෙම ගවේෂණ චාරිකාවේ දී ලබාගත් අත්දැකීම් හා ගමන් විස්තර පිළිබඳ කණ්ඩායමේ සටහන පහත දැක්වේ.
peacock hill
ගමන යන්න අපි යොදා ගෙන තිබුණේ ඔක්තෝබර් 22 වෙනිදා ට. ඉතින් අපි සුපුරුදු පරිදි 8 විතර වෙද්දි විද්යා පීඨය අසලට එක් රැස් වුණා. ගවේෂණයට
විශාල පිරිසක් සහ සහභාගි වුණේ නැති නිසා අපි තනි කණ්ඩායමක් විදිහට තමයි ගියේ. අපි උදේ 8:30 ට විතර කැම්පස් එකෙන් පිටත් වුණා. අපි ගලහා හන්දියට ගිහින් නුවරඑළිය බස් එකක තමයි ගියේ.
අපි නුවරඑළිය බස් එකේ ගිහින් පුස්සැල්ලා වෙන් බැස්සා. පුස්සැල්ලාවේ බැහැලා කන්ද පටන් ගන්න තැන වෙනකන් පයින් තමයි අපිට යන්න වුණේ. සාමාන්‍ය පාරෙන් නෙමෙයි වෙනත් පැත්තකින් තමයි අපි කන්ද නගින්න පටන් ගත්තෙ.
ප්රධාන පාරේ ඉඳන් පයින් යන අතරතුර |
කන්ද නගින්න පටන් ගත්ත තැන |
පාරක් තිබුණන් නැති නිසා අපිට පාර හොයාගෙන තමයි යන්න උනේ. ඒ ගමන නම් ලේසි වුනේ නෑ. කැලේ මැදින් ගල්, කැලෑ, දියපාරවල් මැදින් තමයි අපිට යන්න උනේ. සමහර තැන්වල හතර වටෙන්ම ගස් වලින් වට වෙලා කොයි පැත්තට යන්නද කියලා හිතාගන්න බැරි උනා. හැම පැත්තම බලලා කොහොමහරි අපි ගමන නම් දිගටම ගියා. පාර වැරදුනු අවස්ථාත් නැතුවම නෙමෙයි.
කන්ද නගින අතරතුර |
ඊළඟට අපි කන්ද නගින අතරතුරම මඟින් නතර වෙලා දවල් කෑම ගත්තා. එතකොට වෙලාව දවල් 1.30ට විතර ඇති. ගෙවල් වලින් හොස්ටල් වලින් ගෙනාපු කෑම අපි හැමෝම බෙදාගෙන කෑවා.
දවල් කෑම ගත්ත තැන |
කෑම අරගෙන අපි ආයෙත් කන්ද නගින්න පටන් ගත්තා. අමාරුවෙන් පාර හොයාගෙන කොහොමහරි අපි කන්ද උඩටම ආවා. කන්ද peak එකට නගින කොට වෙලාව 2.30 විතර වුණා කන්ද නගින කොටත් වැස්ස පටන් අරන් තිබුණ නිසා හොඳ දර්ශනයක් නම් අපට දැන් දැකගන්න ලැබුණේ නැහැ. හැම පැත්තම මීදුමෙන් වැහිල තමයි තිබුනේ.
ඊටපස්සෙ අපි එතනට වෙලා ටිකක් වෙලා ඉඳගෙන කට්ටිය අඳුරගත්තා. ටික වෙලාවකින් මීදුමත් ටිකක් අඩු වුණ නිසා අපිට දර්ශනපථයත් හොඳින් බලා බලාගන්න පුළුවන් වුණා. ඈතින් අපට කොත්මලේ ජලාශය, හන්තාන, නකල්ස් කඳු එහෙමත් බලාගන්න පුළුවන් වුනා.
හැමෝම ඇවිල්ල හිටපු කට්ටියව අඳුරගත්තා. එක එක ෆැකල්ටි වලින් ආපු කට්ටිය අඳුරගන්න ඒක හොඳ අවස්ථාවක් වුණා. වැස්සත් තදින්ම වහින්න ගත්තු නිසා අපි photos එහෙම අරන් ඉක්මනටම ආයෙත් කන්ද බහින්න පටන් ගත්තා.
ආයෙ එනකොට නම් හොදටම වැස්ස. වැස්සේ තෙමි තෙමී තමයි එන්න උනේ. ආපහු පහළට බැස්සේ කන්ද නැගපු පාරෙන් නෙවෙයි නිසා ඒ ගමන නම් එච්චරම අමාරු වුණේ නෑ. හැබැයි වැස්සේ හොඳටම තෙමීගෙන කූඩැල්ලොත් එක්කම තමයි අපි පහළට බැස්සේ.
අපි පහළට බැහැලා එතනින් බස් එකක ගම්පොළට ආවා. බස් එකේ එන ගමන් හැමෝම සින්දු කිව්වා. වැස්සෙ මහන්සිවෙලා හිටපු අයට ඒක හැමෝටම හරිම සතුටක් උනා. ගම්පොල ඉඳන් අපි කෝච්චියෙන් තමයි ආයෙ කැම්පස් එකට පිටත් වුනේ. කෝච්චියෙන් ඇවිල්ලා පේරාදෙණිය හන්දිය ස්ටේෂන් එකෙන් බහිනකොට වෙලාව 06:30 විතර උනා. ඊට පස්සේ අපි එතනදිම කට්ටිය කතා කරලා විසිරිලා ගියා. කලින් ගිහින් තිබුණු අයටත් නැති අයටත් හැමෝටම මේකනම් වෙනස්ම අත්දැකීමක් වුණා.
විශේෂ කරුණු
· 👉 අධික බැවුම් සහිත ස්ථාන ඇති බැවින් අවදානයෙන් සිටීම වැදගත් ය.
· 👉 බඹරු, උරගයන් වැනි සතුන් සිටිය හැකි බැවින් ප්රවේශමෙන් තරණය කළ යුතුය.
Click here to see the full Photo Album
තොරතුරු හා සටහන : ගෝල්ඩ් මාරි (Science 20)
No comments:
Post a Comment