Friday, January 5, 2024

ඉදල්ගස්හින්න ගවේෂණය - 2023

 

විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ 23/24 ගවේෂණ වාරයේ, එකොළොස්වන ගවේෂණය වන ඉදල්ගස්හින්න ගවේෂණය 2023/10/28 , 29 දෙදින තුල සිදු කරන ලදි.


ගමන් මාර්ගය



පේරාදෙණිය 👉 ඉදල්ගස්හින්න 👉  පේරාදෙණිය

පිහිටීම

https://maps.google.com/?cid=7731668880714668506&entry=gps

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගරයට ආසන්නයෙන් පිහිටා ඇති, මෑතකදි සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය වු සුන්දර ස්ථානයක් ලෙස ඉදල්ගස්හින්න හැදින්විය හැක. ඔහිය සහ හපුතලේ දුම්රිය ස්ථානය 2 අතර පිහිටා ඇති ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1615 උසකින් පිහිටි අතර  කොළඹ සිට 239 වෙනි දුම්රිය ස්ථානයවේ. කදු මුදුන් දෙකකින් යුක්ත ඉදල්ගස්හින්න කන්ද මෙම දුම්රිය ස්ථානයට ආසන්නයෙන්ම පිහිටා ඇති අතර මනරම් දර්ශන පථයකින් යුක්ත වේ.


කාලගුණය

 ඉතාම ඉක්මනින් කාළගුණික විපර්යාසයන්ට භාජනය වන මෙම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය    18.- 22c පමණ වේ.


පරිසර පද්ධතිය

කඳුකර ලඳු කැලෑ (cloud forest)



දර්ශන පථය

·       බෙරගල, කූරගල, වංගෙඩිගල, බලතුඩුව,  ගොන්මොල්ලිය, සමනල වැව, උඩවලව ජලාශය, බඹරකන්ද දිය ඇල්ල

දැකිය හැකි සතුන්

             කඳුකර පරිසර තත්ත්ව නිසා ජීවත්වන විශේෂ සංඛ්‍යාව අවම වේ.

 Millipede                                                                                                                                          සිලින්ඩරාකාර හෝ තරමක් පැතලි අපෘෂ්ඨවංශීන් වේ. කෘමීන් නොවේ. වටකුරු ශරීරයක් සහ දෘඩ බාහිර  සැකිල්ලක් ඇත. දිරාපත් වන කොළ රොඩු තෙත පස මොවුන්ගේ ප්‍රධාන වාසස්ථානයකි. කොළ රොඩු මැරුණු    දැව වැනි දිරාපත් වන කාබනික ද්‍රව්‍ය පෝෂණය කරයි.

මීට අමතරව
,
   🐾 කඳු ආශ්‍රිත පක්ෂීන් විශේෂ.
  🐾 කටුස්සන් සර්පයන් වැනි උරග විශේෂ
  🐾 ගෝනුස්සන් පත්තෑයන් වැනි සත්ත්වයන්
  🐾 බඹරු මී මැස්සන් වැනි කෘමි විශේෂ
  🐾 මුවන්, ඌරන්, දිවියන්, මීමින්නන් වැනි ක්ෂීරපායීන්
  🐾 දිවි විශේෂ 
  🐾 ලංකාවට ආවේණික කඳුකර කොටිය මේ ප්‍රදේශයේ සැරිසරන බවට සඳහන් වේ.


දැකිය හැකි ශාක

Ø  ඉදල්ගස්හින්න යනු කදුකර ලදු කැලෑ පෙදෙසක පිහිටා ඇති කන්දක් වේ. කඳුකර කලාපයේ හමා යන තද සුළඟට ඔරොත්තු දී පැවතීමට සුදුසු ලෙස

 ★කුඩා පත්‍ර සහිත, ඇඹරුණු අතු සහිත, කුඩයක හැඩ ගත් ගෝලාකාර මුකුටයක් ලෙස වෘක්ෂ සැකසී ඇත.

     Øඝන පඳුරු ස්තරයක් සහිත කෙටි වියන් ස්තරය ස්ථරය කින් සමන්විත වේ.



       Ø අපි ශාක එම වෘක්ෂවල අතු සහ කඳන් වසාගෙන ඇත.

      Ø අමතරව ලයිකන පාසි ආදිය දැක ගත හැක.

 Ø කන්ද තරණයේ දී කන්ද පාමුල තේ වතු ද, කන්ද මුදුනට යන විට පයිනස් ශාක ද බහුලව දක්නට ලැබේ.



     මීවන (Fern)

විද්‍යාත්මක නාමය : (Polypodiopsida / polypodiophyta)

මීවන යනු බීජානු හෝ මල් නොමැති බීජාණු හරහා ප්‍රජනනය වන සනාල ශාක සමූහයකි. මී වන විශේෂ දුරස්ථ කඳු උන්නතාංශ වල සිට වියළි කාන්තාර පාෂාණ මත ජල කඳන් හෝ විවෘත කෙත්වතු වැනි ස්ථානවල ද දක්නට ලැබේ.

Blue Corn Lily         

විද්‍යාත්මක නාමය : Aristea ecklonil                                                               


 

 






 Pink Knotweed

විද්‍යාත්මක නාමය : Persicaria capitata




 





මෙම ගවේෂණ චාරිකාවේ දී ලබාගත් අත්දැකීම් හා ගමන් විස්තර පිළිබඳ කණ්ඩායමේ සටහන පහත දැක්වේ.👇👇👇

පලමු දිනය

ඉදල්ගස්හින්න යන ගමන අපි යොදාගෙන තිබුණේ ඔක්තෝම්බර් 28 සහ 29 යන දවස් දෙකයි. ඉතිං මේ ගවේෂණයට යන ගමනට උදේ 10.00 පමණ වෙද්දි විද්‍යා පීඨයට කට්ටිය එකතු උනා. 10.00 කිව්වාට 10.30 විතර උනා. හැම ෆැකල්ටියක්ම වගෙ නියෝජනය කරමින් විශාල පිරිසක් අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා හිටියා. කැම්පස් එකේ ඉදන් ගමන පටාන් ගද්දිනම් හැමෝටම  එකටම ඉදල්ගස්හින්නටනම් යා ගන්න බැරි උනා. අපේ කණ්ඩායමෙන් 9 දෙනෙක් විතර උදේ 7.30 කෝච්චියේ අපිට අවශ්‍ය බඩුබාහිරාදිය අරගෙන කලින්ම ගමන ආරම්භ කරලයි තිබුනේ.

කොහොමහරි ඉතිං අපිත් උදේ 11.30 කෝච්චියේ යනවා කියලා හිතාගෙන කට්ටිය ඔක්කොම පේරාදෙණිය ස්ටේෂන් එකට ගියා. ඔන්න ඉතිං ටික වෙලාවකින් කෝච්චියත් අදාල වේදිකාවට ආවා. අනේ! කෝච්චියේ හිටපු සෙනඟ ගොඩ. පස්සෙ තමා මතක් උනේ එදා පෝය නිවාඩුවක් කියලා.. කෝමහරි එතන හිටපු ස්ටේෂන් මාස්ටර්නම් කිව්වේ මෙච්චර ගොඩකටනං ඒ කෝච්චියෙ යන්න බැ  කියලා. ඉතිං  කට්ටියක් ඒ කෝච්චියෙ ගිහින් ඉතුරු අය ඉලග එකේ යමු කියලා කතා වෙලා නුවරට ගියපු කෝච්චිය ආයෙ එනකං මඟ බලාන හිටියා.

ඉතිං කෝච්චියත් ආවා. කණ්ඩායමේ හැමෝගෙම වාසනාවකට හිටපු ඔක්කොටම වගේ එකම කෝච්චියෙ ඉදල්ගස්හින්න යන්න චාන්ස් එක ලැබුණා. ඔන්න ඔහොම ඉතිං පේරාදෙණියෙන් අපි ගමන ආරම්භ කරා. ඉට පස්සෙ තිබුනේ අපේ ගමනාන්තය වූ ඉදල්ගස්හින්න බලා යන්න තමයි. හැබැයි ඉතිං ගමන ආරම්භයේ ඉදගන්නනං ඉඩක් තිබ්බේ නැ. ඔන්න ටික වෙලාවකින් එහා පැත්තෙ කෝච්චි පෙට්ටියෙ පොඩි සිංදු කෑල්ලක් ඇහෙන්න ගත්තා. ඒත් එක්කම කවුරුහරි ගිටාර් එකත් වාදනය කරනවා.පොඩ්ඩ පොඩ්ඩ කට්ටිය එතනට එකතු වෙලා දිගටම සිංදු කියන්න පටාන් ගත්තා. ටික වෙලාවකින් එතනින් කට්ටියක් හැලිලා ඇවිත් වෙනම සිංදු කියන්න ගත්තා. හපොයි! මෙන්න දැන් තරඟෙට දෙපැත්තෙ ඉදන් ගීයෙන් ගීය කරන්න පටාන් ගත්තා.. බොරු සිංදු කෑලියි වචනයි දන්න සූස්තර ඔක්කොම දාලා දෙගොල්ලම කරට කරට සිංදු කිව්වා.



ඔන්න ඔය අතරෙ අපෙ ගමන් සගයෙක්ට විදේශ සංචාරකයෙක් හම්බෙලා. එයා ඉතිං විස්තර අහලා පොඩි සුහද කතා බහකත් යෙදිලා. අපි කවුරුත් දන්නවානෙ උමගක් ඇතුලෙන් යද්දි කෝච්චියෙ යන එන ඈයො හූ තියෙනවා කියලා. එදාත් ඉතිං ඒක සුපුරුදු පරිදිම තිබ්බා. අපිටනං ඒක හුරුපුරුදු දෙයක් උනාට අර විදේශ සංචාරකයාටනම් එය අලුත්ම අත්දැකීමක් වෙලා තිබුනා. කොහොමින් කොහොම හරි සිංදු කිය කිය රසබර කතා කිය කිය  දුම්රිය ස්ථාන බර ගානක් පහු කරමින් අපිත් අපේ ගමන ගියා. ඔන්න ඉතිං ගමන මැදදි පොඩි  කසු කුසුවක් ඇහුනා. බලද්දි කට්ටියට බඩගිනි වෙලා කන්න මොනාහරි හොයනවා. ඔක්කොටම කලින් බඩගින්න නිවාගමු කියලා ගෙදරින්, හොස්ටල්, බෝඩිම් වලින් ගෙනාපු බත් පාර්සල් ටිකක් කට්ටිය හිටපු හිටපු තැන් වල දිග ඇරගෙන  කන්න පටන් ගත්තා.  කාලා බීලා ඉවර වෙලා  කාපු තැන පොඩ්ඩක් සුද්ද කරලා ආයෙත් සිංදුවක් කියලා ගමන දිහාවට හැරුනා..

 ටික ටික ඉදල්ගස්හින්නට ලංවෙද්දි අවට පරිසරයේ සුන්දරත්වය නම් බලාගන්න උනේ නැ.. මුලු පරිසරයම ඝණ මීදුමකින් වැහිලායි තිබුනේ. ඔන්න ඔය අතරෙ කට්ටියක් මාෆියා සෙල්ලම් කරා. ජීවිතේ පලවෙනියටම ඒක අහපු අයත් හිටියා. ඉතිං ඒ ඔක්කොටම තරඟ නීති රීති ටිකත් කියලා දීලා අපි සෙල්ලමට අවතීර්ණ උනා. ඉතිං මුලු කණ්ඩායමම නොමඟ යවන්න පුලුවන් මහ හොරෙකුත් හම්බුනා අපිට.. කෝමහරි අපිට තරඟ වට දෙකක් විතර තමා සෙල්ලම් කරන්න හම්බුනේ.. හවස 4.30 -5 විතර වෙද්දි දන්නෙම නැතුව අපි ඉදල්ගස්හින්නටත් ලං  වෙලා තිබ්බා. අපි කොච්චියෙන් බහිද්දිම වගේ මහා වැස්සකටත් අහු උනා. වැස්ස විතරක්නම් කමක් නැ..කකුල් දෙක ඉස්සරහට වැදුන අකුණු පාරවල් ජීවිතේ මරණ බය මතක් කරා. බයටම කට්ටිය ෆෝන් ටිකත් ඕෆ් කරා..

2023/10/28 ඉදල්ගස්හින්න ස්ටේශම සවස 5ට පමණ

ඉතිං අපි රෑට නවතින්න හිතාගෙන හිතපු ඉස්කෝලෙත් ස්ටේෂම ලගම තිබ්බ එක අපිට ලොකු පහසුවක් උනා. කට්ටිය තද වැස්සෙම කුඩත් ඉහලගෙන ලහි ලහියේ ඉස්කෝලෙට  දිව්වා. හයියෝ! ගහපු හෙණයකට ඉස්කොලේ කරන්ට් එකත් ගිහිල්ලා. කට්ටියට කරුවලේ තමා ඉන්න උනේ. හැබැයි වාසනාවකට පැය බාගයකින් විතර ආයෙ කරන්ට්  එක ආවා. ඔන්න ඔහොම ඉතිං අපි කට්ටිය ඉස්කෝලෙටත් ආවා. වැස්සේ සීතලේ ඉලගට තිබ්බ ලොකුම ප්‍රස්නෙ රෑට උයාගෙන කන එක. කට්ටිය ටීම් 4කට බෙදිලා රෑට කන බොන වැඩේ ගැන බලන්න ගත්තා. එක ටීම් එකක් එලවළු බතක් හදන්නත්, තව ටීම් දෙකක් සෝයා මීට් සහ පරිප්පු හදන්නත් ඉතුරු ටීම් එක තේ හදන්නත් පටාන් ගත්තා. ඔන්න ඉතිං කට්ටියගෙ ඉවීමේ හැකියා එලියට එන්නත් ගත්තා. කට්ටියක් කැරට් කපනවා. කට්ටියක් කපන කැරට් කනවා. බඩගින්න වැඩි වෙලාද මන්දා තවත් කට්ටියක් අමුවෙන් සෝයා කන්නත් පටාන් ගත්තා. ළුෑණු කපන කෙනා අඩන්නැතුව වැඩේ කරද්දි බලාන් හිටපු වටේ පිටෙ අය අඩන්නත් පටාන් ගත්තා.





රෑ කෑම සූදානම් කරමින්

ඔන්න ඉතිං අඩුම කුඩුම ඔක්කොම ලෑස්ති කරලා උයන්න පටාන් ගත්තා.  වැඩේ හිතපු තරම් ලේසි උනේ නම් නැ.  මොකද වැස්ස සීතල නිසා දරත් තෙතයි. ලිප පත්තු වෙන්නෙත් නැ. කොහොම කෙහොම හරි කට්ටියගෙ ධෛර්යය කැපවීම නිසා දන්න දහංගැට ඔක්කොම දාලා ලිප පත්තු කරගෙන අන්තිමේදි අපේ රෑ කෑම හදාගත්තා. හවස 6ට විතර පටාන් ගත්ත වැඩේ රෑ 10 විතර වුනා ඉවර වෙද්දිනම්. ඉලගට ඉතිං කෑමක් තමා තිබ්බෙ. කට්ටිය බඩ පිරෙන්න කාලා කාපු බීපු ඔක්කොම අස්පස් කරලා ඉවර වෙලා පොඩි සුහද කතා බහක යෙදුණා. ආපු කට්ටියගෙ නම් ගම් අහලා අපේ ගවේෂණයේ පලමු දවසේ අත්දැකීම් සියලු දෙනාත් එක්ක බෙදා ගත්තා.


දෙවැනි දවස

වෙලාව රෑ 1ට විතර ඇති. ඔන්න ඉතිං ගමන් මහන්සියත් එක්ක නිදිමත අයට නිදාගන්න චාන්ස් එකක් තිබ්බා. ගෑනු ලමයි ටික ඩෙස් පුටු ටිකක් ලං කරගෙන එව්වා උඩ නිදාගත්තා. තව කට්ටියක් එකතු වෙලා නැලවිලි ගීයක ස්වරයෙන් සිංදු මුමුණන්න පටාන් ගත්තා.

නැලවිලි ස්වරයක ගී ගයන අවස්ථාවේ

මේ අතරෙ තව පිරිසක් හෙට උදේට කන්න ලෑස්ති කරනවා. එතන හරි හරියට වැඩ. කට්ටියක් මඤ්ඤොක්කා සුද්ද කරනවා තවත් කට්ටියක් මඤ්ඤොක්කා කපනවා. ඔය අතරෙ දෙතුන් දෙනෙක් මඤ්ඤොක්කා තම්බන්න විදියක් කල්පනා කරනවා.  තවත් කට්ටියක් ලස්සන හිරමණයකින් පොල් ගානවා සමපෝෂ හදන්න කියලා. කෝම කෝම හරි රෑ එලිවෙනකං කට්ටිය හරි හරියට වැඩ කරා. ඔය අතරෙ රසබර කතා එහෙමත් නැතුවම නෙවේ. පාන්දර 3ට විතර ඔන්න වැඩ කරලා මහන්සි අයටයි නිදියලා නැගිටපු අයටයි ඔක්කොටම රසම රස වැඩි සීනි කිරි කෝප්පයක් හදලා දුන්නා. ඒත් එක්කම රසම රස වැඩි ලුණු සමපෝෂ අග්ගලයකුත් දුන්නා.

රසම රස සමපෝශ සාදමින්

නිදිමතේ සීතලේ හිටපු නිසාද මංදා කට්ටියට ලොකුවට වැඩි සීනි තේකවත් වැඩි ලුණු  සමපෝෂ අග්ගලය ගැනවත් වැඩි අවුලක් තිබ්බෙ නැ. ඔන්න ඉතිං ඒ රාජකාරි ඔක්කොම ඉවර කරලා කට්ටිය ලෑස්ති උනා කන්ද තරණය කරන්න. පාන්දර 4වෙද්දි අපි කන්ද නගින්න පටාන් ගන්න හිටියාත් පොඩ්ඩක් පරක්කු උනා. අපේ ටාගට් එක උනේ ඉර නැගෙද්දි කන්ද මුදුනට යන එක.. ඔන්න ඉතිං හිරිකඩු පිපෙන තරම් සීතලත් නොතකා අපි කන්ද නගින්න පටාන්ගත්තා. පොඩ්ඩක් කලුවරයි. 

2023/10/29 කන්ද නගිමින්

කන්ද මගක් නැගන් යද්දි අපිට ඇස් ඇදහාගත නොහැකි තරම් මනස්කාන්ත දර්ශනයක් දැකගන්න ලැබුනා. ඈතින් මීදුමයි ඉර නැගෙද්දි එන රැස් වලාවයි එක්ක පරිසරය  තැඹිලි පාටට දිව්‍යවිමානයක් ලෙස දිස් වුනා.


කට්ටිය ඔක්කොම වගෙ කන්ද තරණය කරද්දි අපෙ එක ගමන් සගයෙක්ගෙ කකුල පොඩ්ඩක් පෙරලිලා තිබ්බා. හැබැයි ඒ වේදනාවත් අමතක කරලා ලහි ලහියෙ අපිත් එක්ක ගමනට එකතු උනා. උදේ 6 විතර වෙද්දි අපි කන්ද මුදුනට ලගා උනා. කන්ද මුදුනදි දැකපු දර්ශන පථයත් එක්ක ගමන් මහන්සියක්නම් දැනුනේ නැති තරම්. මොහොතකට වෙනම ලෝකෙකට ගියා වගේ.

දර්ශන පථය තුල දකුණු පසින් වංගෙඩිගලත්, ගොන්මොල්ලියත්, බඹරකන්ද දිය ඇල්ලත් ,සමනල වැවත් , උඩවලව ජලාශයත් දැක ගන්න පුලුවන් උනා..

කන්ද මුදුනේ සිට දර්ශන පථය

මෙච්චර ලස්සන දර්ශන පථයක් තිබ්ලාත් පොටෝ එකක් ගැහැව්වෙ නැත්තං වැඩක් නැනේ. ඒ නිසාම කට්ටිය හරි හරියට ෆොටෝ ගන්නනං අමතක කරෙ නැ.



කෝමහරි කන්ද මුදුනේ පැය දෙකක් විතර ඉදලා අපි නැවත කන්ද පහලට එන්න පටාන් ගත්තා.

කන්ද බසිමින්

කන්ද නඟිද්දදිනම් ඉදගල්ස්හින්න දුම්රිය ස්ථානය පෙනුනෙ නැති උනත් කන්ද බහිද්දිනම් ඒකත් බලාගන්න පුලුවන් උනා.



අපි කන්ද බැහැලා ආයේ ඉස්කෝලෙට එද්දි මුලු පරිසරම මීදුමෙන් වැහිලා.. තව පරක්කු  වෙලා කන්ද නැග්ගනං කන්ද මුදුනත් මීදුමෙන් වැහෙන්න තිබ්බා. එහෙම උනානං අපිට  ලස්සන දර්ශන පථයක් බලාගන්න බැරි වෙන්න තිබුණා. ඒ අතින් අපේ ගමන සාර්ථකයි කියලා හිතනවා. කට්ටිය ඉස්කෝලෙට ඇවිල්ලා කඩිමුඩියේ ඩෙස් පුටු තිබ්බ විදියට අස් කරලා අතුගාලා තිබ්බ විදියටම හදලා ඉවර කරලා අපි අපේ උදේ කෑම ගත්තා. උදේ කෑම උනේ රෑ එළි වෙනකන් තම්බමපු මඤ්ඤොක්කා ලුනුමිරිස් එක්ක. ඔයාලට මතක ඇතිනේ අපි ලුනු වැඩි සමපෝශ කෑවා කියලා. ඒ වගේම ලුනු නැති මඤ්ඤොක්කාත් කන්නත් උනා. හැබැයි ඒකනං ලොකු ප්‍රස්නයක් උනේ නැ. මොකද ගොඩාක් අය වැඩි ලුනු සමපෝෂයි අඩු ලුනු මඤ්ඤොක්කායි එකට කාපු නිසා. ම්ම්ම්ම්ම් ඒකෙත් අමුතු රසක් තිබ්බා. උදේ කෑමෙන් පස්සෙ ඒ ට්කත් සුද්ද පවිත්‍ර කරලා අපි හවස් වෙන්කලින් නැවත කැම්පස් එකට එන්න ඕනි නිසා ඉදල්ගස්හින්න ස්ටේෂමට ආවා.

2023/10/29 ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය - දුම්රිය එනකම්


උදේ 10.30 කෝච්චියෙන් අපි අපේ ගමන නැවත ආරම්භ කලා.. එද්දිනං ඉතිං ලොකුවට සිංදු කිව්වෙනම් නැ. කට්ටියගෙ ගමන්  මහන්සියත් එක්ක සමහරු හිටගෙන නිදි සමහරු ඉදගෙන නිදි. සමහරුනං ඒත් රසකතා කියව කියව හිනා වෙව් ආවා. ඔන්න ඉතිං පැය 4-5ක ගමනක පස්සෙ හවස 4ට විතර අපි සරසවි ස්ටේෂමට ලගා වුනා. කට්ටිය ඔක්කොම එහෙම්මම නැවතත් අපේ ගමන් ආරම්භක ස්ථානය වූ විද්‍යා පීඨයටම ආවා. ඉතිං අපි මේ දවස් දෙක ඇතුළත ආදරණීය මතක ගොඩාක් එක්කම ආදරණීය මිතුරු කැලක් අදුරගෙන හොස්ටල් බෝඩිම් නිවාස බලා පිටත් උනා. 

2023/10/29 සවස 4.30ට පමණ - ගමන් ආරම්භක ස්ථානය වූ විද්‍යා පීඨය

විශේෂ කරුණු.

Ø  බඹරු උරගයින් වැනි සතුන් සිටිය හැකි බැවින් ප්‍රවේශම් ලෙස තරණය කල යුතුයි. 

Øඅපෙ කණ්ඩායම රැය පහන් කරන ලද්දෙ අවසරයකින් ලබා ගන්නා ලද පාසලකය. 

Øමෑතකදි සිදු වු හොරු මංකොල්ලකෑම් ආදි ගැටලුව  නිසා ඉදල්ගස්හින්නෙ කෑම්පින් කිරීම තහනම් කර ඇත.

    

        Click here to see the full Photo Album 


තොරතුරු හා සටහන : හශිනි විජේරත්න (Science 20 බට්ටි)





No comments:

Post a Comment