Sunday, May 12, 2024

තුන්හිස්ගල - දුම්බර ඇල්ල ගවේශනය |2023

මෙය විශ්ව විද්‍යාල ගවේශකයන්ගේ සංගමයේ 23/24 ගවේශන වාරයේ දෙවන නියමු ගවේශනයයි. මෙය 2023 වසරේ අගෝස්තු 11 වන දින සිට 13 වන දින දක්වා තෙදින ගවේශනයක් ලෙස සිදු කරන ලදී. ගෝමර හන්දියෙන් ගමන ආරම්භ කර ඇටන්වල නගරයෙන් ගමන අවසන් කිරීමට සැලසුම් කරන ලදී.

ගමන් මාර්ගය

පේරාදෙණිය 👉 නුවර 👉 වත්තේගම 👉 ගෝමර හන්දිය 👉 ලෙබනන් වත්ත 👉 රත්නගිරිය 👉 KMP වාඩිය 👉 තුන්සහිස්ගල 👉 KMP වාඩිය 👉 දුහුවිලි ඇල්ල 👉 සන්සුන් ඇල්ල 👉 Infinity Pool 👉 තට්ටු ඇල්ල 👉 දුම්බර ඇල්ල 👉 ඇටන්වල 👉  මාතලේ 👉 නුවර 👉 පේරාදෙණිය

කාලගුණය

පලමු දින වර්ශාපතනය සහිත කාලගුණයක් හා දෙවන තුන්වන දින වලදී වියළි කාලගුණයක්


පරිසර පද්ධතිය

උඩරට තෙත් කලාපීය හා උඩරට වියළි කලාපීය


දැකිය හැකි සතුන් හා ශාක

දුම්බර අං කටුස්සා, වදුරා, කූඩැල්ලන්, සමනල් විශේෂ, ක්ෘමි විශේෂ, මත්ස්‍ය විශේෂ

මහරත්මල්, වනරාජ, බෝවිටියා, එනසාල්, කුරු ශාක, උඩවැඩියා විශේෂ


 දුම්බර අං කටුස්සා   


Scientific Name – Ceratophora tenentii                 Sinhala Name –Dhumbara An Katussa 

English Name –Tennents Hone Lizard / Horn-nosed lizard IUCN 

Red List Status – Endangered 

 ලංකාෙවන් වාර්තා වන කටුස්සන් අතරින් (Ceratophora) ගනයේ දුම්බර අං කටුස්සා, දුම්බර වනෙපතට පමණක් ආවේණික කටුසු විශේෂයකි. දුම්බර අං කටුස්සා (Ceratophora tennentii  GUNTHER), 1861 දී ගන්තර් නෙැත්තා විසින් පළමුව හඳුනාගෙන මෙම නමින් නම් කර ඇත. නකල්ස් වන්නාන්තරමේ මීටර 750- 1200 උස පාරාසමේදී වලාකුළු වනාන්තර වල පහල කදන් මත මෙම කටුසු විශේෂ දැක ගත හැක. දුම්බර වනෙපතට අලංකාරයක් හා ඉහල වටිනාකමක් ලබා දෙන මෙම කටුසු විශේෂය වඳවීයාමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක් ලෙස රතු දත්ත පොතට එක්වී ඇත්තේ 2006 වසරේදීය.


 බෝවිටියා


Scientific Name - Osbeckia aspera (L.)Blume 
Common Name - බෝවිටියා 
 ශ්‍රී ලංකාවට ආවේණික පඳුරු විශේෂයකි.


මහා පත්ම


      Scientific Name - Podochilus falcatum Lindley 
      Common Name - මහා පත්ම 
      Family - Orchidaceae 
     ශාක කඳන් හා පාෂාණ මතුපිට වැඩෙන ශ්‍රී ලංකාවට ආවේණික උඩවැඩියා වර්ගයකි. කදුකර වැසි වනාන්තර වල දැකගත හැක.




      Scientific name - Aplinua fax 
      නකල්ස් කඳුකර කලාපය තුළ දැක ගත හැකි උසින් වැඩි Zingiberaceae පවුලට අයත් ඔසුවකි. ශ්‍රී ලංකාවට ආවේණික ශාකයකි.

Christisonia


     Scientific name - Christisonia calcarata 
     Wight Family - Orobanchaceae 
      මෙම ශාකයේ පත්‍ර  මූල පරපෝශිත (Leafless root parasite plant) එනම් වෙනත් ශාක වල මුල් මගින් පෝෂන අවශ්‍යතා සපුරා ගන්නා ශාකයකි. මෙය ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය වැනි රටවල් වල හමු වේ.   
  
          
       දර්ශන පථය

·        රත්නගිරිය

 

           තුන්හිස්ගල මුදුනට


           දූවිලි ඇල්ලට


මෙම ගවේෂණ චාරිකාවේ දී ලබාගත් අත්දැකීම් හා ගමන් විස්තර පිළිබඳ කණ්ඩායමේ සටහන පහත දැක්වේ.👇👇👇

     පලමු දිනය

     නකල්ස් තුන්හිස්ගල යන්න නියමිත උනේ අගෝස්තු 11 වෙනිදට. ඉතින් අපි කණ්ඩායම පාන්දර 4.35 විතර වෙද්දි ගලහ හංදියට එකතු වෙලා නුවර යන බස් එකකට නැගලා පාන්දර 4.55 විතර වෙද්දි නුවරට ආවා. බස් එකෙන් බැහැගත්ත අපි ඊලගට ඔරලෝසු කණුව ලග බස් නැවතුම්පොලට ගිහින් වත්තේගම බස් එකට නැග්ගා. එටතකොට වෙලාව පාන්දර 5.05 ට විතර ඇති. බස් එකට නැග්ග අපි ඩප්පියා ගෙනාපු බිස්කට් එකක් කාලා වතුර ටිකකුත් බිලා බස් එක පිටත් වෙනකන් පොඩි නින්දකුත් දැම්මා. 5.30 ට නුවරින් පිටත් උන බස් එක 6.00 වෙද්දි වත්තේගමට ආවා. බස් එකෙන් බැහැපු අපි බඹරැන්ද බස් එක එනකං මග බලාගෙන හිටියා. 6.30 වෙද්දි බස් නැවතුමට ආපු බඹරැන්ද බස් එකට නැගපු අපි බඹරැන්දට යන ලස්සන පාරක පන්විල හුලුගග ගෝමර හංදිය පහුකරගෙන ලෙබනන් වතු යායට යන පාර ලගින් බැහැ ගත්තා. එතකොට වෙලාව උදේ 7.40 ට විතර ඇති.

 

      අපි බස් එකෙන් බහිනවාත් එක්කම වගේ බුන්ජා අයියත් ඇවිත් අපි එක්ක එකතු උනා. ඊට පස්සෙ අපි හය දෙනා ඒ ළගෙ තිබ්බ ග්‍රාම සේවක කාර්‍යාලයක් ලග බුන්ජා අයියා ගෙනාපු කෑම කලා photo 2,3ක් ගහලා උදේ 8.05 ට අපේ ගමන ආරම්භ කලා. ගමනේ මුල් හරිය වැටිලා තිබ්බෙ වතු නිවාස සහ තේ වතු මැද්දෙන්. වි.2-3 පොඩි විවේක ගන්න ගමන් අපි ඉදිරියට ගමන් කලා. ඒ අතර තුර ජීවනි එකකුත් හදා ගත්තා. අපි ආපු පාරෙන් ටිකක් ඈත් වෙලා ලදු කැලැව අතරින් පාරක් හදාගෙන ඉස්සරහට ගියා. ඒ අතරතුර ගන්න විවේක වලදි ජිවනි බොන ගමන් චොකලට් වගේ දේවලුත් කෑවා. වෙලාව 10.04 ට විතර පොඩි විවේකයක් අරං 10.15 ට නැවත ගමන ආරම්භ කරපු අපි 10.30 විතර නකල්ස් කැලේට ඇතුලු උනා. කැලේට ඇතුල් වෙලා ටික දුරක් යද්දි අපිට KMP වාඩියේ මහතුන් මාමා හම්බ වුනා.  


       ගමට යන අතරතුරදි වාඩියට ඇතුල් වෙන විදිහ සහ යන්න ඕනි පාර අහගෙන හවස හමුවෙන බලාපොරොත්තුවෙන් අපි මාමාට සමු දුන්නා. පොඩි පොඩි විවේක ගන්න ගමන් අපි කැලේ මැදින් තිබුන අඩිපාර දිගේ ඉස්සරහට ගියා. ඒ අතරමග අපිට විවිධ ශාක හා සත්ව විශේෂ දැක ගන්නත් අපිට පුලුවන් උනා. දවල් 1.05 විතර වෙද්දි අපිට KMP වාඩියට යන්න පුලුවන් උනා. වාඩියට ගියපු අපි බුන්ජා අයියා ගෙනාපු කෑමත් දවල්ට කාලා පොඩි විවේකයක් ගන්න ගමන් අපි ගෙනාපු බෑග් ටික වාඩිය ඇතුලෙ කාමරේකින් තියලා තුන්හිස්ගල ගමනට අවශය වතුර බෝතල්, චොකලට් එකක් සහ phone, purse ටිකත් බෑග් එකකට දාගෙන ජිවනි එකකුත් හදාගෙන තුන්හිස්ගල නගින්න පටන් ගත්තා. එතකොට වෙලාව 2.15 විතර උනා. තුන්හිස්ගලට යන්න තිබ්බ අඩිපාර දිගේ උඩටම ගියා. ඒ අතර පාර දිගට ඊතල ලකුණු කරලා තිබ්බා. ඒවත් බලාගෙන උඩට යද්දි අපි කවුරුත් නොහිතපු විදියට මහ වැස්සක් වැටුනෙ තුන්හිස්ගල මුදුණ පෙනි පෙනිමයි. කොහොමහරි ඉතුරු ටිකත් වැස්සෙම ගියපු අපි හවස 3.40 විතර වෙද්දි තුන්හිස්ගල මුදුණට ආවා. ඒත් හැබැයි අපිට අවට කදුවල දර්ශනය නම් හරියට  බලා ගන්න ලැබුනෙ නෑ. ඒ වෙද්දි තිබුණ මීදුමත් එක්ක කොහොම හරි වැස්සෙන් හොදටම තෙමිලා හිටපු අපි තුන්හිස්ගල මුදුනෙන් චොකලට් කෑල්ලකුත් කාලා වැස්සෙම ආපහු පහළට බහින්න පටන් ගත්තා. 

      පහළට බහින වැඩේ එච්චර ලේසි නොවුනේ ඒ වෙද්දි වැස්ස නිසා පොලොව තෙමිලා ලිස්සන්න ගත්තු නිසා. ඒ විතරක් නෙවේ වැස්සෙන් පස්සෙ කූඩැල්ලන්ගෙ ආක්‍රමණයත් වැඩි වෙන්න ගත්තා. කොහොමහරි ටික දුරක් බහිද්දි වැස්ස පායපු නිසා අපි ආයෙ පාරක් නැවතිලා අවට තියන මනස්කාන්ත දර්ශන බලලා ආයෙමත් අපේ ගමන පටන් ගත්තා. මේ වෙනකොට ශාක පද්දතිය තිබ්බෙ අපේ ඉනෙන් උඩ හරියට විතරයි. ශාක එතරම් කුරු වෙලා. කොහොම හරි කැලේ සීමාවට ඇතුලු වෙද්දි ආයෙමත් වැස්ස පටන් ගත්තා. අපිත් ගමන ඉක්මන් කරත් බෑවුම් ලිස්සන තත්වත් එක්ක ලොකු වේගයකින් පහළට යන්න පුලුවන් කමක් තිබ්බෙම නෑ. කොහොමහරි පහළට ආපු අපිට එකපාරට පාර වැරදුනා. මොකද වැස්ස නිසා අපි ාපේ ඵෝන් බෑග් ඇතුලට දාගෙන අඩි පාර සහ ඊතල ලකුණු දිහා බලාගෙනයි පහළට බැස්සෙ. කොහොම හරි පාර හොයා ගන්න ඕනි නිසා Phone අරගෙන map එක බැලුවත් වැඩේ හරි ගියෙ නෑ. එහෙමයි කියලා වැඩේ අත ඇරලත් බැරි නිසා කොහොමහරි උත්සහ කරලා map එකත් බලලා පාර හොයා ගත්තු අපි ආපහු අපේ නැවතුම උන KMP වාඩියට එදදි හවස 5.20 විතර උනා. අපි එතනට එද්දි තවත් පස් දෙනෙකුගේ කණ්ඩායමකුත් වාඩියේ නවාතැන් ගන්න ඇවිත් තිබුනා. ඒ අය උදේ අපි ගමන ආරම්භ කරද්දිත් අපිට මුණ ගැහුන පිරිසක්. කොහොමහරි වාඩියට ආපු අපේ ප්‍රථම රාජකාරිය උනේ කූඩැල්ලන් ඉවත් කිරිමේ මෙහෙයුම. මොකද ඒ වෙද්දි ඇග හැම තැනම කූඩැල්ලො එල්ලිලා ලේ බේරෙන ගමන් තමයි හැමෝම හිටියෙ. කොහොම හරි ලොකු පරිශ්‍රමයක් දාලා කූඩැල්ලො ටික අයින් කර ගන්න ගමන් වාඩිය ලග තිබ්බ වතුර පීල්ලෙන් කට්ටියම නා කියා ගත්තා. ඊට පස්සෙ ඇතුලට ගියපු අපි තෙමුන බෑග්, phone, purse ටික අස් කරලා ටක් ගාලා රෑට උයන්න ලෑස්ති වෙන ගමන් කෝපි එක්කුත් හදා ගෙන උනුවෙන්ම බීවේ සීතල ටිකක් අඩු වෙන්නයි. ඒ අතරෙ කට්ටිය වැඩ ටික බෙදාගෙන බත් උයලා පරිප්පුවකුයි සෝයා කරියකුයි ඉක්මනට උයා ගත්තේ වාඩියේ හිටපු අනිත් පිරිසට ලිප දෙන්න ඕනි නිසා. 


     කොහොම හරි සොනික් අයියගෙයි ඇටයා අයියගෙයි ඒ වෙද්දිත් කූඩැල්ලො කාපු තැන් වලින් ලේ ගලන එක නතර නොවුන නිසා පත්තර පුච්චලා අලු තියන ප්‍රතිකාරත් කරන්න උනා. ඉක්මනට රෑ කෑම ටික හදා ගත්ත අපි කෑම ටික අපේ කාමරේට ගෙනාවේ අනිත් අයට ලිප භාර දිලා. රෑ 8.30 ට විතර කෑම කාපු අපි එදා දවසෙ සිදු උන සිදුවීම් සහ ඊලග දිනයේ අපේ ගමන ගැන විස්තර කතා කරලා රෑ 10.15 විතර නිදා ගත්තේ පහුවදා ගමනේ ඉතුරු ටික ආරම්භ කරන බලාපොරොත්තුවෙන්. 

     දෙවන දිනය

   
උදේ 6.00ට විතර මුලින් ඇහැරුණ ඇටයා අයියලා අපිවත් කූද්දලා ඇහැරෙව්වා. ඊට පස්සෙ අපි මූණ කට එහෙමත් හෝදගෙන කෝපි එකක් වක් කරගෙන බීවා. කලින් දවසෙ දවල් වාඩියට ඇවිත් දවල්ට කාලා තුන්හිස්ගල යන්න කලින් උද්දක අයියා අපි ගෙනාපු කඩල ටික පෙගෙන්න දාලා ගියේ. ඊට පස්සෙ රෑ අපි නිදා ගන්න කලින් කඩල භාජනේ ලිපෙන් තිබ්බා. ලිපේ අගුරු වල රස්නෙට රෑ පුරාවට තැම්බෙන්න. ඊට පස්සෙ උදේ අපි කඩල එකටත් තව ගින්දර ටිකක් දාලා බත් උයන්නත් ලෑස්ති උනා. කට්ටියක් කෑම වැඩේ බලද්දි තව කට්ටියක් ඊයේ වැස්ස නිසා තෙමුන ඇඳුම්, සපත්තු, බෑග් ටික අව්වට දාලා වේලෙන වැඩෙත් අපි මහතුං මාමාගේ දර පාවිච්චි කරපු නිසා දර ටිකක් හොයන වැඩෙත් කලා. ඊයේ කැලේදි හම්බුන මහතුන් මාමාට අපි සමු දුන්නේ හවස මුන ගැහෙන බලාපොරොත්තුවෙන් වුනත් හවස ඇඳ හැලුන වැස්ස නිසා මාමාට ආපහු වාඩියට එන්න බැරි උනා. ඒත් කොහොම හරි උදේ 8.30 ට විතර මහතුන් මාමාත් වාඩියට ආවා. කෑම උයන ගමන් අස්පස් කරන ගමන් මාමා එක්ක පොඩි කතාවක් දාගෙන විස්තර අහගන්නත් අපි අමතක කලේ නෑ. පුලුවන් තරං උදෙන් පිටත් සැලසුම් කලත් කෑම හදා ගන්න සහ ඇඳුම් ටික වේලගෙන ලෑස්ති කරගන්න ටික වෙලාවක් ගියා. අපි මහතුන් මාමාටත් කෑම එකක් දීලා අපිත් කෑම කාලා අරගෙන යන්නත් ලෑස්ති කර ගත්තා. අපේ උදේ කෑම උනේ බත් පරිප්පු සෝයා සහ තම්බපු කඩල. 

කෑම කාලා යන්න ලෑස්ති වෙන අතර වාඩියේ තිබ්බ බුදු පහනටත් මල් පුජා කරන්න අපි අමතක කලේ නෑ. කොහොමහරි 10.50 ට විතර මහතුන් මාමාට සහ KMP වාඩියට සමු දීලා දෙවෙනි දවසෙ අපේ ගමන ආරම්භ කලා. 


ඒකෙදි අපිට මුලිනම හම්බුනේ හේමචන්ද්‍ර වාඩිය. එතනට යද්දි වෙලාව 11.15 විතර උනා. කලින් දවසෙ අපි ගියපු තුන්හිස්ගල මුදුනත් එතෙන්ට හොඳට පෙනුනා. එතනදි photo කිිපයකුත් අරගෙන අපි ආපහු අපේ ගමන පටන් ගත්තා. 

නකල්ස් කැලේ මැද අඩි පාර දිගේම ගියපු අපි දවල් 12.40 ට විතර ගගක් ලග පොඩි විවේකයක් ගත්තා. ටික වෙලාවකින් එතනින් පිටත් උන අපිට දවල් 1.25 විතර වෙද්දි දුවිලි ඇල්ලට එන්න පුලුවන් උනා. ඇල්ල ලගට ගිහින් ටිකක් වෙලා ඉදලා ගුහාවට ආපු අපි 1.40 ට විතර දවල් කෑම කෑවා. ඊට පස්සෙ දුවිලි ඇල්ලෙ photo ටිකක් ගහගෙන අපේ ඊලග නැවතුම උන සන්සුන් ඇල්ල,  Infinity පොකුණ හොයාගෙන 2.40 ට විතර යන්න පිටත් උනා. වි. 20 ක් විතර යදදි අපි හිතුවට වඩා ලගින් සන්සුන් ඇල්ල අපිට හම්බුනා. ඒත් ඒ වෙද්දි වතුර අඩු වෙලයි තිබ්බෙ. එතනින් පිටත් වෙලා තව වි.10 ක් විතර යද්දි අපිට මනස්කාන්ත දර්ශනයක් සහිත Infinity පූල් එක නැත්නේ අනන්තමය පොකුණ හම්බුනා. එතන හරිම ලස්සන දර්ශනයක් තියන තැනක්. අපි එතනට යද්දි එතන සමනල්ලු රංචුවක් හිටියා. එතනින් අපි photo ගහලා අපි ලග තව තිබුන බත් එකකුයි කඩල මුල් 2කුයි කාලා අවට ලස්සන බලලා පැයකට ආසන්න කාළයක් එතන ගත කරලා දෙවෙනි දවසෙ අපේ ගමනාන්තය උන දුම්බර ඇල්ල හොයාගෙන යන්න පිටත් උනා. 

ඒත් එක්කම මතක් කරන්න ඕනෙ infinity ලගින් තමා දුම්බර ඇල්ලට යන පාරත් රණමුරේට යන පාරත් වෙන් වෙන්නෙ. වැස්ස වැඩි වෙලා දුම්බර ඇල්ලට යන්න Infinity පහු කරන්න බැරි උනා නම් අපේ ගමනාන්තය වෙන්න තිබුනේ රණමුනේ. මග දිගට ඊතල සළකුණු කරලා තිබ්බ අඩිපාර දිගේ අපි දුම්බර ඇල්ල හොයාගෙන ඉස්සරහට ගියා. ඒ ගමන් කරද්දි අපි දෙහි අත්තා ඔය එගොඩ වෙලා දිගටම ගමන ගියා. එක තැනකදි අපි ඊතල ලකුණු කරපු අඩි පාරෙන් අයින් වෙලා යන්න පටන් ගෙන තිබ්බා. ඒත් එක්ක දුම්බර ඇල්ලෙන් අපි ඈත් වෙනවා කියලා මැප් එක බලාගෙන ආපු සොනික් අයියට තේරිලා තිබ්බා. ඒත් එක්ක ඒ පාරෙ දිගට ගිහින් වැඩක් නෑ කියන අදහසත් එක්ක අපි තීරණය කලේ ඒ වෙලාවේ අපිට තිබුණ කාලයත් එක්ක දුම්බර ඇල්ල හොයනවා වෙනුවට වතුර ලබා ගන්න පුලුවන් ලගම තැනක එදා කඳවුරු බදින්න. ඊට පස්සෙ අපි දුම්බර ඇල්ලෙ වතුර පාර ගලන සද්දෙ අහගෙන කෙලින්ම ඒ පැත්තට ගියා. ටිකක් දුර අපි යද්දි අපිට වතුර පාර හම්බුනා. ඊට පස්සෙ ඕන උනේ ටෙන්ට් එක ගහන්න හොද තැනක් හොයා ගන්න. වතුර පාර දිගේ ටිකක් උඩට යද්දි අපිට ගල් තලාවක් හම්බුනා. ඊට පස්සෙ අපි තීරණය කලා එදා රෑට එතන කද්‍වුරු බදින්න. තව ටිකක් උඩින් වතුර වැටෙන දිය ඇල්ලක සද්දෙ ඇහුන නිසා ඇටයා අයියයි බුන්ජා අයියයි ගියා ඒ පැත්තට. ඒ අය ගිහින් එනකං අපි ගිණි මැලේකට ඕන කරන දර ටිකක් හෙව්වා. වි. 10 ක් විතර යද්දි උඩට ගියපු අයියලා දෙන්නත් ආපහු ආවා. ඒ අය කිව්වෙ අපි ඉන්න තැන ඉදන් දුම්බර ඇල්ලට වි.6 කින් විතර යන්න පුලුවන් කියලා ඒත් ඒ වෙද්දිත් එතන කට්ටටියක් camping කරලා කිවා. ඒ නිසා අපි තීරණය කරපු විදියට අපි ඉන්න තැන නවතින්න තීරණය 
කලා. ඊට පස්සෙ අහේතුවා, ඩප්පියා, බුන්ජා අයියට ලැබුනෙ tent එක හදන වැඩේ සහ සොනික් අයියා, ඇටයා අයියා, උද්දක අයියා ලිප සහ ගිණි මැලේ හදන්න පටන් ගත්තා. කොහොම හරි ඒ වැඩ ටික ඉවර කරපු අපි කෝපි එකක් හදන්න පටන් ගත්තා. එත් එක්කම එක එක්කෙනා වතුර පාරට බැහැලා ඇගපත ටිකක් හෝදගෙන ඇවිත් කෝපි බොන ගමන් රෑට උයන්න පටන් ගත්තා. එදා රෑත් අපේ ආහාරය උනේ සුපුරුදු බත් පරිප්පු සහ සෝයා මීට්. රෑ 8.00 විතර වෙද්දි කෑම උයලා ඉවර උන අපි 8.15 ට විතර කෑම කාලා ඉතුරු කෑම බීම ටික අස් කරලා අපේ කූඩාරම් වලට ටිකක් ඇතින් ඉතුරු කෑම තිබ්බෙ සත්තු කෑම සුවදට එන්න පුලුවන් නිසා. ඊට පස්සෙ ගල් තලාවේ හාන්සි උන අපි එදා දවසෙ අත්දැකීම් කතා කලා. ඒත් එක්කම එදා රෑ අහසෙ තිබ්බ තරු රටා දිහා බලාගන ඒවා අදුර ගන්නත් උත්සාහ කලා. ඒ අතරතුර බුන්ජා අයියා අහසෙ තිබුන ක්ෂීර පථයක photo එකකුත් අර ගත්තා. ඊට පස්සෙ අපි අපේ දෙවන දවසත් නිමා කරලා රෑ 9.50 විතර සියලු දෙනා නින්දට ගියා. 

තෙවන දිනය
අලුත් දිනයක් මෙන්ම අපේ ගමනේ තුන් වන දිනය ආරම්භ කරමින් උදේ 6.00 ට විතර ඇහැරුන අපි ලිප පත්තු කරලා කෝපි එකක් හදා ගන්න වතුර රත් කරලා කෝපි හදාගෙන බිව්වා. ඒ අතරතුර රැය පහන් කරපු කූඩාරම් ටිකත් අස් කරපු අපි උදේ කෑම විදිහට නූඩ්ල්ස් සහ පරිප්පු හදා ගන්න ගමන් දවල්ට සුලු ආහාරයක් විදිහට සමපෝශ සහ ජිවනි එකක් හදාගෙන උදේ කෑම අරගෙන අපේ බඩු මුට්ටු අස් කරගෙන බෑග් ටික පැක් කර ගද්දි උදේ 9.00 විතර උනා. ඊට පස්සෙ බෑග් ටික අයිනකින් තියලා දුම්බර ඇල්ල බලන්න පිටත් උනා. වි.10 ක් වගේ යද්දි දුම්බර ඇල්ල ලගට ගියපු අපි දිය ඇල්ල බලලා සහ ඡායාරූප අරගෙන 9.45 ට විතර දිය ඇල්ල ලගින් පිටත් උනා. 


9.55 විතර වෙද්දි බෑග් තියන ගල් තලාවට ආපු අපි එහෙම්මම වල්පොලමුල්ල ගමට යන්න පිටත් උනා. අඩි පාර දිගේ ගියපු අපි 10.35 ට විතර වැද්දහේන ඔය පහු කරලා ටිකක් දුර ගියපු අපි පොඩි විවේකයක් ගත්ත අපි වි.5 කට විතර පස්සෙ අයෙත් ගමන ආරම්භ කලා. දිගටම මැප් එක සහ අඩිපාර දිගේ ගියපු අපිට එක් තැනකදි පාර වැරදිලා වල්පොලමුල්ලට යන පාරේ නෙවෙයි යන්නෙ කියලා පැහැදිලි වෙද්දි ඒ පාරෙ සැළකිය යුතු දුරක් ඇවිත් නිසා ආපහු හැරිලා යනව වෙනුවට අපි යන පාරේම යන්න තීරණය කලේ ඒ අඩි පාරේ මිනිසුන් ගමන් කරලා තියනවා කියලා පැහැදිලි උන නිසා. කොහොම හරි ඒ පාර දිගේ ගියපු අපි අලුත් කදු මුදුනකට ආවා. එතකොටත් අපිට වල්පොළමුල්ල ගමට යන පාර මග ඇරිලයි තිබුනෙ. කොහොමහරි අපි එතන ඉදන් දවල්ට කන්න ගෙනාපු සමපෝශ කාලා එතනින් පිටත් උනේ අපේ ගමනාන්තය උන ඇටන්වල ගම හොයාගෙන. එතනදි අපි තීරණය කලේ අඩි පාරවල් වල යනවා වෙනුවට මැප් එක බලාගෙන ඇටන්වල ගම දෙසට සෘජු මාර්ගයක පාරක් හදාගෙන යන්න. ඒ වෙද්දි වෙලාව දවල් 12.50 විතර උනා. ඒ විදිහට කැලේ මැද්දෙන් ගියපු අපි 2.00 ට විතර පොඩි විවේකයක් අරගෙන නැවත 2.10 ට විතර පිටත් උනා. ඒ යද්දි අපිට පොඩි පතනකුත් හම්බුනා. ඒ පතනත් පහු කරගෙන ඇටන්වල පැත්තට ගියපු අපි තව පොඩි විවේකයක් අරං දිගටම ගියා. එහෙම ගියපු අපිට අඩි පාරක් හම්බුනා. ඒ අඩිපාර දිගේ ගියපු අපිට හම්බුනේ හතර අතට අඩි පාරවල් විහිදුන හංදියක්. එතකොට වෙලාව දවල් 2.55 විතර වෙලා තිබ්බෙ. අයියලා කියපු විදිහට එතනින් ඇටන්වලට මානිගලට සහ වල්පොළමුල්ලට යන පාරවල් තමා බෙදෙන්නෙ.


අපි මුලින් තීරණය කරපු විදිහට ඇටන්වල map එකේ පෙන්නන සෘජු පාර දිගේ අපි ගියා. එහෙම ටිකක් දුර යද්දි අපට හමු උනේ ඇටන්වල ඉදන් මානිගල කන්දට යන ගල් පඩි ලෙස ඉදි කරමු මංපෙත. එතනදි පාර හරියට පැහැදිලි උන නිසා අපි ඒ මංපෙත දිගේ ඇටන්වල දෙසට ගියා. එහෙම ගියපු අපි ඇටන්වල ගමට ආවා. එතනදි තමා දවස් තුනකට පස්සෙ අපේ phone වලට signal ලැබුනෙ. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත අපි හැමෝම දවස් තුනකට පස්සෙ ගෙවල් වලට කතා කරලා අපි යහතින් ඉන්නවා කියලා කිවා. ඒ අතරතුර ලග තිබ්බ තානායමකට ගිහින් වතුර ටිකක් බීලා බස් එකට යන පාර අහගෙන අන්තිම බස් එක අල්ල ගන්න අදහසින් අඩි ඉක්මන් කරලා බස් පාරට යන්න පිටත් උනා. වැද්දාපැනි ඇල්ලත් පහු කරගෙන ඉක්මනින්ම බස් පාරට ආපු අපි ලග තිබුණ කඩේකට ගොඩ වෙලා  විස්තර අහපුවාම තමා කිව්වෙ බස් එක එන්න තව වි.30 ක් විතර යනවා කියලා. එතකොට වෙලාව 3.30 ට විතර වෙලා තිබ්බා. ඊට පස්සෙ ඒ කඩෙන් අපි බීම බෝතලයක් අරං බොන ගමන් ඉතුරු වෙලා තිබ්බ සමපෝෂ ගුලි වගයකුත් කාලා රට ඉදිත් කෑවා. ඒ කාලා බස් එක එනකං කඩේට වෙලා බලන් හිටියා.  



කොහොම හරි බස් එක එනකොට 4.20 විතර උනා. බස් එකට නැගපු අපි මාතලේ යන්න පිටත් උනා. පාර වැටිලා තිබ්බෙ පිටවල පතන රිවස්ටන් හරහා යන ලස්සන පරිසරයක් මැද්දෙන්. අතරමග බස් එක නැවැත්තුවා තේ බොන්න. ඒ අතර අපිත් තේ එකක් බීලා වඩේ කාලා ආපහු මාතලේ යන්න පිටත් උනා. කොහොම හරි මාතලේට අපි යද්දි වෙලාව හවස 6.10 විතර උනා. නුවරට එන්න බස් නැවතුමේ හිටපු අපි 6.20 ට විතර නුවර යන දුර ගමන් සේවා බස් එකකට නැග ගත්තා. බස් එක ඉක්මනින් ආපු නිසා පැයක් වගේ ඇතුලත අපි නුවරට ආවා. ඊට පස්සෙ රෑ කෑමත් නුවරින් කාලා අපි ගලහට එද්දි රෑ 8.30 විතර උනා. ගලහා හන්දියේ ඉදන් club room එකට පයින් ආපු අපි 8.45 විතර වෙද්දි club room එක ලගට ආවා. ඒ වෙද්දි සැලා අයියත් එතනට ඇවිත් හිටියෙ. අපි club එකෙන් අරං ගියපු බඩු ටික පිරිසිදු කරලා ආපහු club room එකෙන් තියපු අපි රෑ 9.15 ට විතර දවස් තුනක නකල්ස් තුන්හිස්ගල හරහා දුම්බර ඇල්ල ගමන නිමා කරලා ජීවිතේ ලස්සනම අත්දැකීම් රැසක් අ‍රගෙන එකිනෙකාගෙන් වෙන් වෙලා නවාතැන් වලට යන්න පිටත් උනා.

විශේෂ කරුණු :

Ø නකල්ස් ගවේශනය සඳහා අවසර ලබාගත යුතු වේ. ඒ සඳහා උඩවත්ත කැලේ වන සංරක්ෂණය ආයතනයෙන් හෝ දිගන වන සංරක්ෂණ ආයතනයෙන් ටිකට් පතක් මිලදී ගතයුතු වේ. 


Øකූඩැල්ලන් බහුල ප්‍රදේශයක් බැවින් leach socks  පැලදීම උචිත වේ. ආදේශක වශයෙන් garbage bags භාවිතා කල හැක. එමෙන්ම ලුනු පොට්ටනි සහ ලුණු වතුර රැගෙන යා හැක.  


Øවන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් මං පෙතක් ඇති බැවින් නියමිත මංපෙත් භාවිතා කිරීම මගින් පරිසර  හානිය අවම කල හැක.  


කණ්ඩායම : 

            ♢ Science 17 උද්දක - නිමේෂ් ගුණරත්න
      ♢ Science 19 ඇටයා - ජනිත් පතිරණ        
            ♢ Engineering 19 සොනික් - අවිශ්ක චතුරංග 
      ♢ Science 19 බුංජා - ලක්ෂිත එරංග 
      ♢ Engineering 20 ඩප්පියා - චමිදු සචින්ත
      ♢ Art 20 අහේතුවා - ශාවින්ද දේශප්‍රිය

    Click here to see the full Photo Album 


තොරතුරු හා සටහන : Engineering 20 ඩප්පියා, Art 20 අහේතුවා

ශාක හා සතුන් පිලිබඳ තොරතුරු : Science 19 බුන්ජා 

No comments:

Post a Comment