★ ගවේෂණ වාරය :- 2023/24
★ ගවේෂණය :- නමුණුකුල ගවේෂණය සහ කඳවුරු බැඳීම
★ ගවේෂණ අංකය :- 27
★ දිනය :- 2024/04/26, 27, 28
★ ගවේෂණ මට්ටම :- සාමාන්‍ය
★ පිහිටීම :- https://maps.app.goo.gl/oodypuMga1NKsLVa8
★ පරිසර පද්ධතිය :- කඳුකර ළඳු කැළෑ
★ කාලගුණය :- වැසි සහිත කාලගුණයකි
★දර්ශන පථය :- නමුණුකුල කන්දේ සිට පසෙක වළාකුළුවලින් වැසී ගිය නමණුකූල කඳු පංතියයි තවත් පසෙකින් පෙනෙනුයේ බදුල්ල නගරයයි වෙන් වෙන්ව හඳුනාගත නොහැකි වුවද ඌව වෙල්ලස්සෙහි පුළුල් ප්‍රදේශයක් නමුණුකුල කඳු මුදුනට දක්නට හැකිවෙයි. ඒ අතර නාරංගල, පුංචි සිරිපාදය, ඇල්ල රොක්, කෑරගල කුඹල් අසපුව, ශ්‍රී පාදය, මොනරගල හදුනාගත හැකියි.
පසුබිම
නමුණුකුල යනු බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයට ආසන්නව පිහිටා ඇති සුන්දර කඳු පන්තියකි. මෙය මුදුන් නවයකින් යුක්ත නිසාවෙන් නමුණුකුල ලෙස භාවිත වුවද පැහැදිලිව දක්නට ඇත්තේ කඳු හතකි. තවද නමුණුකුල කඳු පෙලේ උසම කන්ද පහළ සිට බලන විට නැම්මක් ආකාරයෙන් පෙනෙන නිසා නැමුණූකුල ලෙසද පසුකාලීනව එය නමුණුකුල ලෙස ව්‍යවහාර වී ඇත. මුහුදු මට්ටමේ සිට උපරිම මීටර 2,035 ක් ( අඩි 6,676.5 ) උසකින් පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ උසම කඳු අතරින් එකොළොස්වන උසම කන්ද මෙය වේ. ගවේෂණාත්මක සහ විනෝදකාමීන් කඳු තරණය සඳහා මෙම නමුණුකූල තෝරා ගනියි. නමුණුකුල මුදුනේ කඳවුරු බිම් තුනක් පමණ ඇති අතර කඳු මුදුනට නැගීමට පෙර තේ වත්ත අවසන් වීමත් සමඟ දිය පාරක් ඇත. පානය කිරීමට සුදුසු ජලය එහිදී ලබාගත හැකි අතර කදුමුදුනේ කුඩා ළිඳක් ද ඇත. මෙහි ජලය බීමට සුදුසු තත්ත්වයක නොමැත. නමුණුකුලට ළඟාවීමට මාර්ග කීපයක්ම ඇති නමුත් වැඩි පිරිසක් භාවිතා කරන්නේ බදුල්ල-පස්සර මාර්ගයේ කිලෝමීටර් දෙකක දුරින් දකුණට දිවෙන ස්ප්‍රීංවැලි මාර්ගයයි. නමුණුකුල කන්ද ඉන්දික නම් දෙවි කෙනෙකු විසින් නමුණුකුල කඳු පන්තිය ආරක්ෂා කරමින් එහි වාසය කරන බැව් ලාංකීය පුරාවෘත්තවල සඳහන් වෙයි.
දැකගත හැකි වූ ශාක
★ ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තරයට ආවේණික මහරත් මල මධ්‍යම පළාත් පුෂ්පයයි.
★ මීටර් 3 සිට මීටර 20 ක් පමණ වූ උසට වැඩෙයි.
★ අතු ඇඹරී කඳුකර වනාන්තර ලක්ෂණ සහිතව වර්ධනය වන ගසේ පොත්ත ඝන අළු පැහැතිය.
★ දීප්තිමත් රතු පැහැයෙන් යුතු අතු අග පිපෙන තරමක් විශාල මල් පොකුරු මෙම ශාකයේ කැපී පෙනෙයි.
★ එක පොකුරක මල් දහයක් විස්සක් පමණ හටගනී.
★ රළු ඝනකම පත්‍ර තරමක් පුළුල් ඉලිප්සාකාර හෝ අන්ඩාකාර හැඩයක් ගන්නා අතර අග්‍රස්ථය උලය.
★ මැද නාරටිය ඇතුලට කාවැදී ඇත.
★ යටි පැත්ත සුදු දුඹුරු සිහින් බූවෙන් වැසී ඇත.
★ ශාකයේ පත්‍ර හා පොතු ඖෂධීය වටිනාකමකින් යුතුය.
★ හෝර්ටන් තැන්න වැනි තෙත් පතන තණ බිම් වල මෙම ශාකය සුලභව වැඩෙයි.
★ එමෙන්ම ශ්‍රී පාද කන්ද,පිදුරුතලාගල,දොළොස්බාගේ,නමුණුකුල,නකල්ස්,සීතා එළිය ආදී උස් කඳුකර වනාන්තරවල වැඩෙයි.
★ වාසස්ථාන විනාශ වීම මහරත්මල් ශාකය මුහුණ දෙන තර්ජනයෙකි.
2. මීවන (FERNS)
★ සිහින් කොළ සහ මලෙහි දම් පැහැයෙන්, මල් රේණුවල කහ පැහැය සහිත එක යායට පිපෙන විසිතුරු ශාකයකි.
★ශ්‍රී ලංකාවේ තෙත් කලාපයන්හි සහ අතරමැදි දේශගුණික කලාපයන්හි ද දක්නට ලැබෙන එකම තැනක බහුලව ව්‍යාප්ත වූ ශාක විශේෂයකි.
★ කුඩා කඳු ගැටිතිවලත්,බෑවුම්වැටි,පාංශු ස්ථර සහිත ප්‍රදේශ සහ වන ලැහැබවලද බහුලව ව්‍යාප්ත ව ඇත.
★ රත්නපුර ශ්‍රීපාදය ආසන්න ගම් ප්‍රදේශවල මාර්ගයේ දෙපස බහුලව ඇත.
★ අඩි දෙකක් හෝ දෙකහමාරක් තරම් උස පැළෑටි ලෙස දැකිය හැකියි.
★ පත්‍ර රළු ස්වභාවයක් සහ සිහින් ඒකාකාරී ස්වරූපයක් දැකිය හැකියි.
★ හීන් බෝවිටියා ශාකයේ මළ සහ මහබෝවිටියා ශාකයේ මළ අතර,ප්‍රමාණ අතර වෙනස්කම් සහ පෙති රේණුවල වෙනස්කම් ඇති බව දැක ගත හැකියි.
★ ශාකසාර ගුණයෙන් ඉහළ ගුණාත්මක අගයක් සහිත ශාකයකි.
දැකගත හැකි වූ සතුන්
නමුණුකුල
පරිසර පද්ධතිය තුළ කටුස්සන් තලගොයින්, කුණකටුවන් වැනි උරග විශේෂ මෙන්ම කෘමීන් විශේෂ,
කුළුමීමන්, ඌරන්, මීමින්නන් වැනි ක්ෂීරපායී
සත්ත්වයින්ද වාසය කරයි. නමුත් අපට නමුණුකුල ගවේෂණයේදී දැකගැනීමට හැකි වූයේ කෘමි විශේෂයට
අයත් කුරුමිණියන් ,කූඩැල්ලන් සහ මකුළුවන් පමණි.අනෙක් සතුන්
ඒ ආශ්‍රිතව වාසස්ථාන කොට ගනිමින් ජීවත්වන සලකුණු දැක ගැනීමට හැකි වූ නමුත් එම
සතුන් දක්නට හැකි වූයේ නැත.
1. කෘමීන්
★ ඇතැම් විට දිගු අං කුරුමිණියකු හෝ රයිනෝසිරස් කුරුමිණියකු විය හැකිය.
★ Stag කුරුමිණියන් ලොව විශාලතම කුරුමිණියන් වන අතර සමහර විශේෂ වල දිග 17cm (අගල් 6.7) දක්වා ළඟාවේ.
★ ඔවුන් සහකරුවන් වෙනුවෙන් සටන් කිරීමට සහ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට පිරිමින් භාවිතා කරන Mandibles වලින් සංලක්ෂිත වේ.
★ ලොව පුරා නිවර්තන සහ සෞම්‍ය වනාන්තරවල stag කුරුමිනියන් දක්නට ලැබේ.
★ ඔවුන් නිශාචර කෘමීන් වන අතර ඔවුන් රාත්‍රියේදී ක්‍රියාකාරී වේ.
★ කුරුමිණියන් ගස්වල හා පලතුරුවල යුෂ වලින් පෝෂණය ලබයි.
★ කුරුමිණියන්ගේ කීටයන් දිරාපත් වන දැවවල ජීවත් වන අතර එහිදී ඔවුන් දිරාපත් වන ද්‍රව්‍ය මත පෝෂණය වේ.
2. මකුළුවන්
★ ඔවුන් වනාන්තර,තණ බිම් සහ කාන්තාර ඇතුළු ලොව පුරා විවිධ වාසස්ථානවල දක්නට ලැබේ.
★ Orb - Weaver මකුළුවන් කෘමි ගහනය පාලනය කිරීමට උපකාර වන ප්‍රයෝජනවත් විලෝපිකයන් වෙයි.
★ කුරුල්ලන් සහ අනෙකුත් සතුන් සඳහාද ඔවුන් වැදගත් ආහාර ප්‍රභවයයි.
★ මෙම මකුළුවන්ගේ භෞතික ලක්ෂණ ලෙස,
✔ ශරීර කොටස් දෙකක් (Cephalothorax සහ උදරය)
✔ Chelicerae (දත්) ඔවුන්ගේ ගොදුරට විෂ එන්නත් කිරීමට භාවිතා කරන ලදී.
✔ Pedipalps (කෙටි,කකුල් වැනි උපාංග) ආහාර හැසිරවීමට භාවිතා කරයි.
✔ ඇස් අටක් ඇත.
✔ මෙම මකුළුවන් විශේෂ 3000කට වැඩි ප්‍රමාණයක් ඇත.
★ එබැවින් මෙහි සිටි මකුළුවා නිවැරදිව හඳුනා ගැනීම දුෂ්කරය.
3. කූඩැල්ලන්
★ කූඩැල්ලන් යනු Annelida කුලයට අයත් Hirudinea උපකාණ්ඩයට අයත් වන කන්ඩනය කරන ලද පරපෝෂිත හෝ කොල්ලකාරී සත්ව විශේෂයකි.
★ මොවුන් කලාපීය පරිසරවල බහුලව හමුවේ.
★ මොවුන්ට දිගු හා හැකිලීමට හැකි මෘදු මාංශ පේශි කොටස් සහිත ශරීර ඇත.
★කූඩැල්ලන් දෂ්ට කිරීමෙන් සුළු රුධිර වහනයක් හා කෝපයක් ඇති විය හැක. දුර්ලභ අවස්ථාවන්හිදී, ඔවුන් රෝග සම්ප්‍රේෂණය කළ හැකිය.
★ කූඩැල්ලන් පශු සම්පත්වලට හිරිහැරයක් විය හැකි අතර, ඔවුන් විශාල වශයෙන් ඇමිණීම රක්තහීනතාවය ඇති කරයි.
★ ශතවර්ෂ ගණනාවක් තිස්සේ කූඩැල්ලන් ඖෂධයක්ව භාවිතා කර ඇත. කූඩැල්ලන්ගේ කෙල වල අඩංගු හිරුඩින් නමැති ද්‍රව්‍යය රුධිර කැටි ගැසීම වැලැක්වීමට උපකාරී වන ස්වභාවික ප්‍රතිදේහජනකයකි.
★ රුධිර සංසරණය සහ සුවය ප්‍රවර්ධනය කිරීම සඳහා කූඩැල්ලන් ද භාවිතා වේ.
★ කූඩැල්ලන් පරිසර පද්ධතියේ වැදගත් කොටසකි, මන්ද ඔවුන් අනෙකුත් අපෘෂ්ඨවංශීන්ගේ ගහනය පාලනය කිරීමට උපකාරී වේ.
ගවේෂණයේදී ලබාගත හැකි වූ අත්දැකීම්
නමුණුකුල
හෙවත් නැමුණූකුල ගවේෂණය සහ කඳවුරු බැඳීමට පිටත්වීම සඳහා අපි යොදාගෙන තිබුණේ අප්‍රේල්
26,27,28 දිනයන් ය. 2024
අප්‍රේල්
මස 26 වන දින ප.ව.7
ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට එකතු වූ අතර එහිදී ප.ව.10.30 පමණ වනතුරු
ගමනට සහභාගී වීමට පැමිණි 33ක පිරිස කණ්ඩායම් හතරකට බෙදී පසුදින උදෑසනට අවශ්‍ය ආහාර
පිළියෙල කරනු ලැබීය. බත්, පරිප්පු, සෝයා සකස් කරමින් තවත් එක් කණ්ඩායමක් අපට රැගෙන
යාමට පන්දම් සකස් කරනු ලැබීය.
ඉන්
පසුව රාත්‍රී 11.00 ට පේරාදෙණිය
station එකෙන් බදුල්ල බලා ධාවනය වන දුම්රියට නැගී පසුදින (අප්‍රේල් 27) උදෑසන 7.30
ට පමණ බදුල්ල station එකෙන් බැස ගත්තෙමු.
එතැන් සිට ස්ප්‍රිංවැලි හරහා මේමලේ ගම්මානය තෙක් ධාවනය වන බස් රථයකට ගොඩ වී ගමනෙහි ඉතිරිය සම්පූර්ණ කළෙමු. බදුල්ල නගරයේ සිට ආසන්න වශයෙන් 15km පමණ දුරකින් පිහිටි මේමලේ ගම්මානය වෙත පිවිසීමට ගතවන්නේ පැය 1/2 පමණ කාලයකි.
ස්ප්‍රිංවැලිවල සිට උදෑසන ආහාරය ගැනීම |
වැසි සහිත දේශගුණයක් බලාපොරොත්තු වුවත් අපිට කන්ද තරණය කර මුදුනට යනතෙක් එවැනි දේශගුණයකට මුහුණ දීමට සිදු නොවීය. අපි තෝරාගත් මාර්ගය ස්වභාව සෞන්දර්ය අතින් පොහොසත්ම වනගත මංපෙතක් ලෙස බදුල්ල - ස්ප්‍රිං වැලි හරහා නමුණුකුල තෙක් දිවෙන මාර්ගය දැකගත හැකි විය.
කන්ද තරණය ආරම්භක ස්ථානය |
තේ වතු යාය මැදින් ඉදිරියට යාම |
තේ වතු යාය මැදින් වැටුනු මාර්ගය |
නමුණුකුල තරණයේ යන පා ගමන පුරා පැය ගණනකට අධික වූවකි. නමුණුකුල පිවිසුම් මාර්ගයෙහි මුල් කිලෝමීටරයට ආසන්න දුර සමන්විත වනුයේ තේ වතු යාය මැදින් වැටුණු පුළුල් මාර්ගයකිනි. තේ දළු නෙළමින් සිටි ගම්වාසීන් කිහිප දෙනෙක් අපිට දර රැගෙන යන්න අවශ්‍ය නෑ කදුමුදුනේ දර අවශ්‍ය තරම් තිබෙන බව පැවසුවත් අප රැගෙන ආ දර ද රැගෙන අපි කදු මුදුනට යන්න පිටත් වුණා. පසුව කුඩා දියකඩිත්තක් අසල රැඳී සිටි අප රැගෙන ආ හිස් බෝතල්වලට ජලය පුරවා ගැනීමට මද වේලාවක් ගත කලෙමු.
ජලය පුරවාගත් දිය කඩිත්ත |
ජලය පුරවාගත් අවස්ථාව |
එම දියකඩිත්තේ සීතල ජලයෙන් එගොඩ වුණ අපි පිවිසෙනුයේ දැවැන්ත ටර්පන්ටයින් වෘක්ෂයන්ගෙන් ගහන වනාන්තරය මධ්‍යයේ පිහිටි කුඩා අඩි පාරකටය.
ටර්පන්ටයින් යාය මැද |
කඳවුරු බැඳීමට යන නිසා අප සියළු දෙනා බොහෝ බඩු, වතුර බෝතල්, ගෑස්, දර, කූඩාරම් ගැසීමට අවශ්‍ය ද්‍රව්‍ය, භාජන රැගෙන ගිය නිසා හැමෝටම ගොඩක් මහන්සි දැනීමෙන් ටර්පන්ටයින් යාය මැද මදක් නතර වී ගිමන් හැරියේය. ඒ අතරේ ඡායාරූප ගැනීමට ද අමතක කළේ නැත. නැවත ගමනට සූදානම් වෙමින් අප ගොඩ වුනේ විශාල ගස්, වැල්, පඳුරු වලින් පිරුණු වනාන්තරයකටයි. ඉදිරියට ඇදෙමින් යන අපි මගදී අප රැගෙන ආ බිස්කට් හා බීම ගෙන විඩාව මගහරවා ගත්තා.
කදුමුදුනට නගින අතරතුර |
පරිසර පද්ධතියේ සුන්දරත්වය විඳිමින් මේ හැමදේම පසුකරමින් ඉදිරියට නැග ගිය අපි දහවල් 3.00 පමණ වන විට කඳු මුදුනට නැග ගත් අතර අප එහි ළඟා වන විට තද අවුරැල්ලක් වැටී තිබුණු අතර එය මහත් අස්වැසිල්ලක් විය. කඳු මුදුනට යනවිට බලන බලන අත පිපී ඇති මල් පාරාදීසයක් වැනිය. නොයෙක් පාට මල් නමුණුකුල කඳු මුදුනේ පිපී තිබීම විශේෂ කරුණකි. නමුණුකුල කදු මුදුනේ කඳවුරු බිම් තුනක් අපට දැක ගත හැකි වූ අතර කුඩා ළිඳ ඇති බිමෙහි නවාතැන් ගැනීමට අප තීරණය කළෙමු. කෙසේ නමුත් මෙහි ජලය බීමට සුදුසු තත්ත්වයේ නම් නැත.
නමුණුකුල කදු මුදුන |
කඳු
මුදුනට නැග ගත් අප සියලු දෙනා අධික මහන්සියත් සමඟ මඳක් විවේක ගැනීමට ප්‍රථම දවල්
ආහාරය ගැනීමට සූදානම් විය. එදා E fac 11 උපාසක අයියා තමයි අපි හැමෝටම
දවල් කෑම ගෙනත් තිබුනෙ.
දහවල් ආහාරය ගැනීම |
කදවුරු බිමේ තිබූ ළිද |
වර්ෂාවක
සලකනු දැකගැනීමට වූ නිසා ඉතා ඉක්මනින් ආහාර ගෙන කඳවුරු බැඳීමට සූදානම් වුණා. එහිදී
කණ්ඩායම් 7කට බෙදුණු අපි කූඩාරම් 7ක් එක් එක් කණ්ඩායම විසින් සකස් කරන ලදි. කූඩාරම්
ගසා අවසන් වීමත් සමගම මීදුම අප වට කරගෙන තිබුණා.
කූඩාරම් ගැසීම |
වැස්ස
ඉතාමත් ආසන්නයට පැමිණ තිබුණි. අපි රැගෙන ආ සියලු බඩු භාණ්ඩ හැකි ඉක්මනින් කූඩාරම් තුළට දැමීය. වැස්ස ඇදහැලීමට පෙර දර සොයාගත යුතු නිසා අපි සියලු දෙනා දර සෙවීමට ගියා. අප
රැගෙන ආ දර තිබුනද තවත් අවශ්‍ය දර අපි හැකි ඉක්මනින් ගෙනවිත් ගොඩ ගැසුවා.
අප
කූඩාරම් ගැසූ තැනට දර ගොඩගසා අවසන් වනවාත් සමගම ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට
විය. කූඩාරම් තුළට වී වැස්ස අවසන් වන තුරු රැඳී සිටීමට අපට සිදුවිය. මඳ වේලාවකින් වැස්ස නතර වූ අතර අඳුර වෙලා ගන්නට ප්‍රථමව අප රාත්‍රී
ආහාරය සකස් කර ගැනීමට ද අවශ්‍ය බැවින් සියලු දෙනා එක්ව අධික සීතල තුනී කර ගැනීමට
තේ හදන්න සූදානම් වුනා. තේ හැදීමට ගිනි මැලය දැල්වීම තරමක්
අසීරු නමුත් සියලු දෙනා උත්සාහය අතහැර දැමුවේ නම් නැත. වැස්සට
තෙමුණු දර ගොඩ ළං කරමින් හෙමින් හෙමින් ගිනි මැලය නිමි නිමී දැල්වීමට සියලු දෙනා
දැඩි උත්සාහයක් ගත්තා.
වර්ෂාවෙන් පසු ගිණි මැලය දැල්වීම |
බිස්කට්
හා තේ බීපු අපි රාත්‍රී ආහාරය ලෙස නූඩ්ලස් සහ පරිප්පු හදන්න සූදානම් වුණා. සෙක්කු අයියා
එහෙම ලීක්ස්,කැරට් කපමින් සිටින අතරේ නැවත විශාල වැස්සක් ඇද හැලෙන්නට වුණා. එක් කූඩාරමක් තුළට ආහාර සකස් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන වර්ෂාව
එක්කම ආහාර පිසින්නට කටයුතු කරා. කෙසේ නමුත් මෙයින් නැවත ගිනි මැළය නිවී යන්නට වුණා. වර්ෂාවත්
සමඟින් බොහෝ වේලාවකින් අනතුරුව රාත්‍රී ආහාරය පිසීම අවසන් වුණා.
රාත්‍රී ආහාර සකස් කිරීම |
ඒ
අතර නැවත ගිණිමැලය දල්වන්නට විය. මේ ආකාරයට විටින් විට වැස්ස ඇදහැලෙන්නට වූ නිසා වර්ෂාව මධ්‍යයේ අප
කූඩාරම තුළට වී රාත්‍රී ආහාරය ගත් අතර ඒත් සමඟ වැස්ස කෙමෙන් කෙමෙන් පහව යන්නට විය. කූඩාරම් තුළින් පිටතට පැමිණි අපට මුළු පරිසරයම අන්ධකාරයෙන් වෙලී ඇති
අයුරු දකින්නට ලැබුණා. ඒ වන විට සීතල ද වැඩි වී තිබුනා.
අපි හැමෝගෙම සතුටට කරුණක් වූයේ මුළු අහසම තරුවලින් බරව හඳ පායා තිබීමයි.නැවත වැස්ස එන්නෙ නැති බව අපි දැනගත්තා. ගිනි මැලය පෙරට වඩා හොඳින් දැල්වෙමින් තිබුණා. අප සියලු දෙනාම ගිනි මැලය වට එක්වී එකිනෙකාව දැන හදුනා ගත්තා.
විවිධ
පීඨ නියෝජනය කළ අපි හැමෝම එකිනෙකා සමග සුහද වෙන්න ඒක අවස්ථාවක් වුණා. සිංදු කියමින්
අපි විනෝද වූ අතර කෝපි හා බිස්කට් ඒ අතර ආහාරයට ගත්තා. බොහෝ
වේලාවක් අවදිව අලුයම වනතුරු අප එම මොහොත ගත කරන්නට වුණා.
නමුණුකුල රාත්‍රිය |
හිරු එළිය සමඟින් උදෑසන හිරු කිරණ පතිත වීමත් සමඟ ආහාර ලෙස අප රැගෙන ආ පාන් ගැනීමට පරිප්පු සකස් කලෙමු. උදෑසන ආහාර ගෙන නැවත අපි රැගෙන ආ බඩු සූදානම් කර ගත්තා.
නමුණුකුල මුදුනේ උදෑසන |
උදෑසන ආහාර ගැනීම |
කඳවුරු
බිම තුළ වූ ළිඳේ ජලය අප රැගෙන ආ ජලයට අමතරව ප්‍රයෝජනවත් වුණා. මේ වෙන විට අප
දැල්වූ ගිනි මැලය ද අවසන් වී අළු බවට පත්වී තිබුණා. කූඩාරම්
ගලවා අප සිටි භූමිය පිරිසිදු කර නැවත අප්‍රේල් 28 උදෑසන 7.45 ට පමණ කන්ද බැසීම ආරම්භ කළා.
කන්ද බැසීමට පෙර නමුණුකුල මුදුනේ සිට |
රාත්‍රියේ
අධික වර්ෂාව නිසා ලිස්සන ස්වභාවය අධික වුණා. පහළට යෑමත් සමග කූඩැල්ලන් යම් ප්‍රමාණයක් දැක ගැනීමට හැකි වුණා.එමෙන්ම රාත්‍රිය ගත කිරීමේදී වල්ඌරන් හා කුළුමීමුන්ගේ පාරාදීසයක් වූ නමුණුකුල
තුළ අපට කිසිදු සතෙකු දැක ගැනීමට හෝ ලැබුණේ නැත. සාවුන් ඇස
නොගැටුණත් එහි සිටින බව අප දැනගත්තේය. දැඩි සීතලෙන් හා
සතුන්ගෙන් ආරක්ෂා වීමට ගිනි මැලය අපට උදව් වුනා. පෙරදින නමනුකූල කඳු මුදුනේ වූ මල්ගොමුවල
අලංකාරය එදින තවත් වැඩි වී තිබුණා.
පෙර
දින කදුමුඳුනට නැඟගත් මාර්ගයේම අපි නැවත පහළට බැසගත් අතර නැවත බදුල්ලට යාමට බස්
රථය 9.15 ට තිබුණු නමුත් සියලු දෙනාටම අපි ගමන ආරම්භ කළ ස්ථානයට නියමිත වේලාවට
පැමිණීමට නොහැකි වීම නිසා ඊළඟ බස් රථය 10.00 පැමිණෙන තුරු
රැදී සිටියා. 9.30 පමණ වන විට සියලු දෙනා පහළට බැස අවසන්
විය. පෙරදින ආහාර ගත් ස්ථානයේදී අප බසය පැමිණෙන තෙක් තේ, සහ
බිස්කට් ගෙන මහන්සිය සංසිඳවා ගත්තා.
ස්ප්‍රිංවැලිවල සිට නැවත බදුල්ලට යන බසයේ සිට |
බදුල්ල
බලා යන බසය පැමිණි අතර එයට නැගගත් අපි නුවර බලා යන බසය 11ට තිබුණු අතර අපි සියලු
දෙනා ඉක්මනින් බැස නුවර බස් රථයට ගොඩ වූවෙමු.පැය තුනක ගමනකින් පසු ප.ව.2ට පමණ
නුවරින් බැසගත් අපි නැවත නුවර දුම්රිය ස්ථානයේ සිට සරසවි උයන ස්ටේෂන් එකට පැමිණි
අතර මේ වන විට සියලු දෙනාම මහන්සිය සමඟ රැගෙන ගිය බඩු භාණ්ඩ රැගෙන නැවත විද්‍යා
පීඨය වෙත ප.ව.3ට පමණ පැමිණියෙමු.
ගමනාරම්භය
වූ විද්‍යාපීඨය තුළදී සුන්දර මතක රැසක් එක් කරගනිමින් නැවත පැමිණි අපි එම
ස්ථානයේදීම සියලු දෙනා කතාබහ කරලා සතුටින් විසිර ගියා. මේ Hike
session එකේ අවසන් event
එකට කලින් event එක වුණු මේ නමුණුකුල කඳු තරණය
හා කඳවුරු බැඳීමේ ගමන අපි හැමෝටම අලුත් අත්දැකීමක් වුණා. කලින්
මේ වගේ කඳවුරු event වලට සහභාගී නොවුණු පළමු අත්දැකීම
ලබාගත් අයත් හිටියා. ඉතින් අපි හැමෝම සතුටින් ඒ විදිහට එදා
event එක අවසන් කළා.ලබාගත්ත
අත්දැකීම් රැසක් තිබුණු බව අපි හැමෝම සතුටින් මතක් කරන්න කැමතියි.
නැවත විද්‍යාපීඨයට පැමිණි මොහොත |
විශේෂ කරුණු
🌱මුළුමනින්ම තැනිතලාවක් වන නමුණුකුල කඳු මුදුන ආසන්න වශයෙන් වර්ග අඩි 2000ක පමණ පුළුල් ඉඩකඩක් සහිත කඳවුරු බිම් 3ක් සහිත ස්ථානයකි.
🌱නමුනුකූල කන්ද ජලයෙන් කිසිදු අඩුවක් නොවන කඳවුරු බැඳීමට ඉතා සුදුසු ස්ථානයකි. කඳු මුදුනේ ඇති ළිඳෙහි ජලය බීමට සුදුසු නොවන නමුත් පහළ හමුවන දිය පාරෙන් ජලය බීමට රැගෙන යා හැකිය.
🌱නිතරම මීදුමෙන් බරව ඇති නමුනුකුල දේශගුණය ක්ෂණිකව මිහිඳුමෙන් මුළු වනාන්තරයම වසා ගැනීමට තරම් පුදුමාකාරයි.
🌱ජල පෝෂක ප්‍රදේශයක් මෙන්ම ජෛව කලාපයක් ලෙස ඉතා වැදගත්ය.
🌱නමුණුකුල තරණය කිරීමට පිවිසුම් මාර්ග කිහිපයක් ඇති නමුත් බදුල්ල ස්ප්‍රිංවැලි මාර්ගය කඳු නගින්නන් බහුලව යොදා ගනී.
🌱වර්තමානය වන විට නමුනුකූල කඳුමුදුනේ පොලිතීන් ආදී අපද්‍රව්‍ය දැමීම මත එම පරිසර පද්ධතියට විශාල තර්ජනයක් වී ඇත.
Click here to see the full Photo Album
No comments:
Post a Comment