Wednesday, January 1, 2025

යක්දෙස්සාගල ගවේෂණය - 2024

 

මෙය විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ 24/25 ගවේෂණ වාරයේ දෙවන නියමු  (pilot no 02) ගවේෂණයයි. මෙය එක්දින ගවේෂණයක් වන අතර විශ්වවිද්‍යාලයෙන් ගමන ආරම්භ කර කුරුණෑගල, ගෝනගම ප්‍රදේශයේ පිහිටි යක්දෙස්සාගල කදු මුදුනෙන් ගමන අවසන් කිරීමට සැලසුම් කරන ලදි.

 


ගවේෂණ අංකය:- Pilot no 02

දිනය :- 2024/09/28

ගමන් මාර්ගය :- පේරාදෙණිය - නුවර - කුරුණෑගල - ගෝනගම - සංවැලි රජමහා විහාරය - යක්දෙස්සාගල - කුරුණෑගල - ඇතුගල - නුවර - පේරාදෙණිය

පිහිටීම :-

o           යක්දෙස්සාගල - https://maps.app.goo.gl/5L9XvpMCscj1rCZP6

o           ඇතුගල - https://maps.app.goo.gl/nszunRbZnUpPB3KJA

කාලගුණය:- වියළි කාලගුණයකි.

පරිසර පද්ධතිය:- අර්ධ ශුෂ්ක පරිසර පද්ධතියකි 

හැඳින්වීම:-

o   යක්දෙස්සාගල 



යක්දෙස්සාගල යනු ඇතුගල හා ආඳාගලෙන් ආරම්භ වන කදු පන්තියේ ඇති උසම කදු මුදුන වේ. එමෙන්ම වයඹ දිස්ත්‍රික්කයේ දෙවැනි උසම කදු මුදුන වන මෙය උසින් මීටර් 546ක් වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල - ගෝනගම මාර්ගයේ කිලෝමීටර් 16ක් පමණ දුරින් පිහිටා ඇත.

මෙම පර්වතයට යක්දෙස්සාගල යන නම යෙදීම හා බැඳුණු ප්‍රධාන ජනප්‍රවාද 3ක් හමුවේ. එම ජනප්‍රවාද 3ම කුවේනිය හා බැඳුණ කතා පුවත් වේ. ඉන් පලමුවැන්නේ සදහන් වන්නේ විජය රජු විසින් පළවා හරින ලද කුවේනිය තමාට සිදුවූ අසාධාරණය නිසාවෙන් මෙම කදුමුදුනේ සිට ඔහුට ශාප කොට මෙයින් පහලට පැන දිවි නසාගත් බවයි. ඒ අනුව යක්ෂ ගෝත්‍රයට අයත් කාන්තාවක් විසින් ශාප කල (දෙස් තැබූ) ස්ථානය යන අර්ථයෙන් මෙයට "යක්දෙස්සාගල" යන නම ලැබී ඇති බව සැලකේ.

තවත් එක් ජනප්‍රවාදයක සදහන් වන ආකාරයට කුවේනියගේ ඇස් මෙම ස්ථානයේ නිධන් කොට ඇති බවට විශ්වාස කෙරේ. එනිසා අතීතයේ "යක්ඇස්සාගල" ලෙස හැඳින්වූ මෙය පසුකාලීනව "යක්දෙස්සාගල" බවට පත්වී ඇති බව සදහන් වේ.

අනෙක් ජනප්‍රවාදයට අනුව කුවේනිය දිවි නසාගත්තා නොව,  කුවේනිය විසින් සිදුකල තම ජාතිය පාවාදීමේ වරදට දඩුවම් වශයෙන් යක්ෂ ගෝත්‍රික නායකයකු විසින් කුවේනියගේ දිව කපා ඇයට පහර දී මරණයට පත් කොට මෙම යක්දෙස්සාගලින් පහළට දැමූ බව සදහන් වේ.


ඩ්    දැකිය හැකි සතුන්:-

මකුළු විශේෂයක්


Family: Sclerosomatidae

Genus: Gagrella


දළඹු විශේෂයක්

 


මීට අමතරව වර්ණවත් සමනලුන්, දඩු ලේනුන්, කෑදැත්තන්, උකුස්සන් හා කටුස්සන්ද ගවේෂණය අතරතුරදී දැකගැනීමට හැකිවිය.


දැකිය හැකි ශාක:-

නුග



Scientific name: Ficus benghalensis

Family: Moraceae

Genus: Ficus


හතු විශේෂයක්


Common name: Stink horn mushroom

Scientific name: Phallus cinnabarinus

Kingdom: Fungi

Group: Basidiomucota


නිල් මානෙල්


Scientific name: Nymphaea nouchali

Family: Nymphaeaceae

Genus: Nymphaea

බෝවිටියා


Scientific Name - Osbeckia aspera (L.)Blume

Common Name - බෝවිටියා

ඉලුක්


ගමන් ආරම්භක ස්ථානය ආසන්නව එනම් කදු මුදුන පහල ප්‍රදේශයේදී පොකුණක් දක්නට ලැබුණු අතර එහි නිල් මානෙල්ද, ඒ ආසන්නව අක්කපාන ශාකද දැකගත හැකිවිය.

කන්ද පාමුල සිට කදු මුදුන වන තෙක්ම විශාල නුග, බෝම්බු, පළු වැනි විශාල ශාක දක්නට ලැබුණු අතර බිම් වැස්මක් (තෘණ ශාක) දැකගත නොහැකි විය. කදු මුදුනෙහි හා ඒ ආසන්නයේ පමණක් බෝවිටියා, මාන, ඉලුක් වැනි ශාක දැක ගැනීමට හැකිවිය.

දර්ශන පථය:- 

කදු මුදුන ඉහලදී ආදාගල සිට ඇතුගල දක්වා කදු පන්තිය විහිදී ඇති ආකාරය පැහිදිලිව දැකගත හැකි විය. එමෙන්ම දොළුකන්ද, හදුරුක්කන්ද වැනි කදු මුදුන්ද, දැදුරු ඔය, මගුරු ඔය යනාදියද  දැකගත හැකි විය.


ඇතුගල



කුරුණෑගල නගර මධ්‍යට ආසන්නව පිහිටා ඇති ඇතුගල එසේත් නැතිනම් ඇතාගල ලෙස හඳුන්වන උසින් මීටර් 316ක් වන මෙය ඉතා ආකර්ෂණීය ගල් පර්වතයකි. එහි පිහිටීමේ ස්වභාවය ඇතෙකුගේ ස්වභාවය ගන්නා බැවින් එයට ඇතුගල/ඇතාගල යන නාමය ලැබී ඇත.

කදු මුදුනෙහි ඉදිකොට ඇති සුදු පැහැති විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ උසින් අඩි 66ක් පනණ විශාල වේ. රාත්‍රියට මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ අහසේ වැඩ සිටිනවා සේ දර්ශනය වීම නිසා මෙම ඇතුගලට විශාල ආකර්ෂණයක් හිමි වී තිබේ. මෙය ස්වභාවික අලංකාරය ඇති, එමෙන්ම ඓතිහාසික වටිනාකමක්ද සහිත ස්ථානයකි.

දැකිය හැකි සතුන්:-

ගල් පර්වතයට නගින මාර්ගයේ හා කදු මුදුනේ රිලවුන් විශාල වශයෙන් දැක ගැනීමට හැකි අතර තෘණ ශාක ආශ්‍රිතව තණකොළ පෙත්තන්, කුඩා කෘමීන් හා කටුස්සන් වැනි සතුන් දැක ගත හැකිවිය.

 

දැකිය හැකි ශාක:-

කදු මුදනට නගින මාර්ගයේ විශාල ශාක දැක ගත නොහැකි අතර තැනින් තැන අරලිය, දං වැනි ශාක කිහිපයක් පමණක් දැකගත හැකිවිය. තැනින් තැන මාන, ඉලුක් වැනි තෘණ ශාක දැකගත හැකිවිය.

දර්ශන පථය:-

දොළුකන්ද, යක්දෙස්සාගල, එළු ගල, ආදාගල

කණ්ඩායම:-

බුල් බුල් - V.P. Supun Malshan

කෙපා - Dulanjana sadaruwan

ලාවා - Nipun Eroshan Jayabhanu

එළුවා - Lakshitha Kavindu

මුවැත්ති - Irushi Layanga

දෙපුලි - Erangi Keshaki

වෙසමුනි - Tharindu Ruwan Dananjaya

අනුපාති - I.Induja

කිරිහාමි - Shahan Pathiraja



ගවේෂණ සටහන:-

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා දින සිදුකල යක්දෙස්සාගල හා ඇතුගල ගවේෂණය සදහා 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූ අතර ඉන් 7 දෙනෙකු විශ්ව විද්‍යාලයෙන් ගමන ආරම්භ කල අතර අනෙක් දෙදෙනා ගමන අතරමගදී සම්බන්ධ විය. එදින අලුයම 5.30ට අප 7 දෙනා ගලහා මංසන්ධියට එකතු වූ අතර බස් රථයක නැගී නුවරට ගියෙමු. අප නුවරට ආසන්න වනවිට 5.50 පමණ විය. ඉන්පසු අප කුරුණෑගල බස් නැවතුම් ස්ථානය වෙත ගමන් කල අතර එතැනින් 6.10ට කුරුණෑගල බලා බස් රථය ගමන් ආරම්භ කළෙමු.  අපහට උදෑසන 7.20 වන විට කුරුණෑගලට යාමට හැකිවිය. එතැනින් මුවැත්තී අප හා ගමනට එක් වූ අතර අප ඒ අසල කඩයකින් උදෑසන ආහාරය ගෙන 9.25ට තිබූ ගෝනගම - කුරුණෑගල බස් රථයේ නැගී ගනේගොඩ සංවැලි රජමහා විහාරය දක්වා අපගේ ගමන ආරම්භ කරන්නට විය. උදෑසන 9.55 වනවිට  අපහට සංවැලි රජමහා විහාරයට යාමට හැකිවිය.

අප එහි යනවිට එළුවා පන්සල වෙත පැමිණ තිබූ අතර අප විසින් ස්වාමීන් වහන්සේලා සමග කතා කර උදෑසන 10.10ට අපගේ අරමුණ වූ යක්දෙස්සාගල කදු තරණය ආරම්භ කළෙමු. ප්‍රදේශයේ  වියළි කාලගුණයක් පැවති අතර කන්ද පහළ ප්‍රදේශයේ තරමක් තැනිතලා ස්වභාවයක් පැවතියද කෙමින් කෙමින් ආනතිය වැඩි වන ආකාරයට ගමන් මාර්ගය වැටී තිබුණේය.






පැහැදිලි ගමන් මාර්ගයක් පැවතීම නිසාවෙන් මාර්ගය සොයා ගැනීම එතරම් අපහසු කාර්‍ය්යක් නොවීය. ගහක් කොලක් හෙලවෙන තරමක කුඩා හෝ සුළඟක් වත් අපහට දැනුනේ නැත. මාර්ගය බොහෝසෙයින් ගල් මතින් වැටී තිබුණේය. පැවති වියළි කාලගුණයත්, ගමන් මාර්ගයේ ආනතිය වැඩි නිසාත් සියල්ලන්ටම තරමක විඩාවක් දැනී තුබුනි. කෙසේ හෝ කිසිදු බාධාවකින් තොරව කදු මුදුන වෙත ළඟාවීමට අපහට හැකිවිය. අප සැම 11.30 පමණ වනවිට කදුමුදුන වෙත ලගාවීමු.





ඉන්පසු අප දර්ශන පථය නරඹමින්, ගිමන් හරිමින් කදු මුදුනෙහි කාලය ගතකර දහවල් 12.20ට පහලට බැසීම ආරම්භ කළෙමු. අතරමගදී බිස්කට් හා බීම රසවිදිමින්ද, පරිසරයෙහි දමාගොස් තිබූ පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍යද එක්‍ රැස් කරමින් අප පහලට පැමිණියෙමු.


පස්වරු 1.25 වනවිට පහලට පැමිණීමට අපහට හැකිවිය. සංවැලි විහාරයට ගොඩ වූ අප විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් සමග සුහද කතාබහක යෙදුණු අතර හාමුදුරුවන්ගේ ආරාධනයෙන් පන්සලෙන් දිවා ආහාරය ලබාගත්තෙමු.


දිවා ආහාරය ලබාගත් පසු අප 2.15ට තිබූ බස්‍ රථයෙන් නැවත කුරුණෑගලට පැමිණීමට ගමන් ආරම්භ කළෙමු. එළුවා එතැනින් අපට සමු දී නිවෙස බලා ගියේය.  පස්වරු 2.45 වනවිට අප කුරුණෑගලට ලගා වූ අතර එන අතරතුරදී සියලුදෙනා කතා වූ පරිදි ඇතුගලට යාමට පස්වරු 3ට පමණ ගමන ආරම්භ කරන ලදි. අප ගමන් ආරම්භ කරන විට ඉතා තද අව්රශ්මියක් පැවතියද, අප කදු මුදුනට ආසන්න වනවිට වැස්සක් කඩාහැලෙන්නට විය. කෙසේ හෝ අප 3.15 වනවිට ඇතුගල කදුමුදුනට පැමිණියෙමු. වර්ෂාව බොහෝ වේලාවක් පැවති අතර අප එම කාලය බුද්ධ ප්‍රතිමා වහන්සේ යටට වී ගත කළෙමු.



වර්ෂාව අවසන් වූ පසු අප රැගෙන ගිය පාන් හා ජෑම් ආහාරයට ගෙන, පස්වරු 4.30ට ඇතුගලින් පහලට බැසීම ආරම්භ කළේය. අප  පස්වරු 5 පමණ වනවිට පහලට පැමිණි අතර 5.20ට නුවර-කුරුණෑගල බස් රථයක නැගී නුවර බලා පැමිණියෙමු. පස්වරු 7.10 ට පමණ අප නුවරට ලගා වූ අතර 7.20ට පමණ පිරිස තමන් යන බස් කරා පිටත්ව ගියේ නව ඉසව්වක ගවේෂණය සදහා නැවත හමුවන බලාපොරොත්තුවෙනි.



ගවේෂණයේදී ලබාගත හැකිවූ අත්දැකීම්:-

කඳු නැගීම, ජායාරූපගතකරණය, ස්වභාවික පරිසර ගවේෂණය, සතුන් හා ශාක නිරීක්ෂණය

Photo Album : https://bit.ly/uec_24_25_pilot_02

සටහන :- Agri 18 ලාවා

තොරතුරු :- Science 20 බුල් බුල්

                     Eng. 19 මුවැත්ති

ජායාරූප:- Science 20 බුල් බුල් 

No comments:

Post a Comment