Saturday, October 12, 2024

Nagrack කඳු මුදුන කරා....


ගවේෂණ අංක : Pilot no.01

දිනය: 2024/09/28,29

පිහිටීම: රත්නපුර දිස්ත්‍රික්කයේ 

පහන්තුඩාව දිය ඇල්ල 

විශ්මය ජනක පහන්තුඩාව ඇල්ල පිහිටා ඇත්තේ කුඩා නගරයක් වන බෙලිහුල්ඔයට කියලෝමීටර 2 ක් දුරින්ය. බෙලිහුල්ඔය සමනල වැව ජලාශයට ගලා ඒමට පෙර නිර්මාණය වූ දිය ඇලි මාලාවේ අවසාන එක මෙයයි. මෙම දිය ඇල්ල පහන් කූඩුවක හැඩයෙන් යුක්ත වේ. ඇල්ලට ළඟා වීමට නම් සුප්‍රසිද්ධ බෙලිහුල්ඔය තානායම අසලින් ආරම්භ වී ඉහළගලගම මාර්ගයේ කිලෝමීටර් 1.5 ක් පමණ ගමන් කර කුඩා ජල විදුලි බලාගාරයට  යන මාර්ගය ඔස්සේ යා යුුතුය. දියඇල්ල දැකබලා ගැනීම තරමක් අභියයෝගාත්මක වන අතර යමෙකුට ඇළ තරණය කර ඉහළට බෑවුම් සහිත නිම්නය හරහා ගමන්ත කළ යුුතුය. 

Nagrack කඳු මුදුන 

Nagrack කන්ද යනු සබරගමුව ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුරුතේනිවෙල  පිහිටි කඳු මුදුනක් වන අතර එහි උස මීටර් 2,130 කි. Nagrack කන්ද පිහිටා ඇත්තේ  නන්පේරියල් වතුයායට සහ පූදුකටුව ගම්මානයට ආසන්නව ය. පහන්තුඩාව දිය ඇල්ලට යන ඉහළගලගම මාර්ගයේම තවත් දුරක් ගමන් කර බෝගසක් අසලින් දකුණට හැරී ගමන්ත කළ යුුය. අතීතයේ Nagrack බංගලාවට ගමන් කල කරත්ත පාර ඔස්සේ ගමන්කර මෙහි මුදුනට ළඟා විය හැකිය. මෙය කඳු මුදුන් දෙකකින් සමන්විත වන අතර ගමන පුරාවටම හාවාගල කන්ද නැරඹීය හැක.

දැකිය හැකි සතුන්:




දැකිය හැකි ශාක:

මහරත් මල්


 Osbeckia rubicunda

ගමනේ තොරතුරු

Nagrack කන්ද තරණය කරන්න අපි යොදා ගෙන තිබුනේ සැප්තැම්බර් 28 වෙනිද. අපි බදුල්ල night mail එකෙන් පේරාදෙණිය ඉඳන් හපුතලේට යන්න බලාපොරොත්තු උන නිසා අපි සැප්තැම්බර් 27 රෑ 11.30 වගේ වෙද්දි පේරාදෙණිය station එකට අපි 5 දෙනෙක් එකතු උනා. රෑ 12 වගේ වෙද්දි දුම්රිය පිටත් උනාදුම්රිය පට්ටියපොළට එද්දි  ඉර එළිය යාන්මට පෙන්න අරගෙන තිබුණ. පට්ටියපොළදි අපිට බදුල්ල  රාත්‍රි  තැපැල් දුම්රියට ප්‍රසිද්ධ german kiss එක බලාගන්න පුළුවන් උනා.


එතන ඉඳන් හපුතලේ දුම්රිය ස්ථානයෙන් බහින තුරාවට මාරම ලස්සන දර්ශනයක් තමයි තිබුනේ. අපි හපුතලේ දුම්රිය ස්ථානයෙන් දුම්රියට සමු දෙද්දි උදේ 6.30 වගේ වෙලා තිබුන. අපි හපුතලේ කඩයකින් උදේ කෑම කාල දවල්ට කන්න කෑමත් , රෑට කෑම හදන්න ඕන වෙන දේවලුත් ගත්තා. 

ඊළඟට අපි බස් එකෙන් පහන්තුඩාව දිය ඇල්ලට හැරෙන තැනට උදේ 8 වගේ වෙද්දි ආවා. එතන ඉඳන් ඉහල ගලගම පාර දිගේ  ටික දුරක් ගිහින් අපි පහන්තුඩාව දිය ඇල්ල බලන්නත් ගියා.


ඊලඟට අපි දිගටම ඉහල ගලගම පාර දිගේ තව 2.5 km වගේ ගිහින් බෝ ගහක් ළඟින් දකුණට හැරිල තව ටිකක් දුර ගියා.

එහෙම යද්දි ගමේ ගෙවල් ටික ටික අඩු උනා ඒ නිසා අපි අපේ වතුර බෝතල් පුරවගෙන යන්න තීරණය කලා.

එතන ඉඳන් පස් පාර දිගේ ටිකක් දුර ගියාම ground එකක් තිබුණ. අපි 10.30 වගේ වෙද්දි එතනට ආව.  ground එක ළඟින් වතුර පුරවගන්නත් පුළුවන්.


එතනින් එහා තමයි ගමනේ අමාරු ටික පටන් ගන්නෙ. Ground  එකෙන් පස්සෙ තිබුනේ ලස්සන පයිනස් කැලෑවක්. අපිට මුලින්ම කරත්ත පාර හොයාගන්න තමයි ඕන උනේ. ඉතින් අපි මේ පේන බෑවුම දිගේ කොහොම හරි ලිස්ස ලිස්ස උඩටම ගියා. ඔව් අපි හිතුවා වගේම අපි උඩට ගියාම වැටුනෙ ඒ කරත්ත පාරට.

එතනින් පස්සෙ අපි ලස්සනම ලස්සන පයිනස් කැලෑව ඇතුලෙන් දිගටම අපේ ගමනාන්තය හොයගෙන ගියා ඒ පයිනස් කැලෑව මැද්දෙදි වතුර ටැංකියක් එහෙමත් හමු උනා. අපි ගිය ඒ පරණ කරත්ත පාරෙ ඒ කාලෙ හදපු ගල් වැටි එහෙමත් පේන්න තිබුන.

පයිනස් කැලෑව අවසානයේ අපි සාමාන්‍ය පොඩි කැලෑවකට තමයි ඇතුළු උනේ ඒ යද්දි අපිට සත්තු ගස් වල පොතු පහුරු ගාල තියෙනවා දකින්න පුළුවන් උනා වගේම ලොකු ගල් ගුහාවක් එහෙමත් හම්බුන නිසා අපි  ටිකක් සැලකිලිමත් උනා. එහෙමම කිසිම කරදරයක් නැතුව අපි දිගටම උඩට ගියා ඒ යද්දි සමහර තැන් වලදි වලාකුළු වලින් වැහිල තිබුණ අපේ ගමනාන්තය ඈතින් පෙනුන. 


අපි මේ ගමන ඇතුළෙ මාරම ලස්සන පාරිසරික විවිධත්ව ගොඩකට මුහුණ දුන්නා. අපිට ඊළඟට ලස්සන වන ලැහැබක් ඇතුළෙන් යන්න ලැබුණා. ඒ පාරෙ පාසි වලින් වැහිල ගිය ලොකු ගල් එක්ක මාරම ලස්සනක් තිබුණා. 


 අපේ අරමුණ උනේ කොහොම හරි පළවෙනි peak එකේදි අපේ දවල් කෑම ගන්න එක ඉතින් අපි ටික ටික අපේ අරමුණ වෙනුවෙන් ලඟා වෙමින් තිබුණත් ගමන් මහන්සිය අපිට සරදම් කලා. ඒ නිසා අපි මඟ නතර වෙමින් හෙමින් හෙමින් උඩට යන ගමන් අපේ ලඟ තිබුන chocolate, glucose වගේ දේවල් වලින් මහන්සිය අඩු කරගත්ත. ඊටපස්සෙ පළවෙනි peak එකට පොඩ්ඩක් පහළින් තිබුණ ගල් පොත්තක් උඩ ඉඳන් අපේ දවල් කෑම අරගෙන එතනට පොඩ්ඩක් ඈතින් තිබුන දොල පාරෙන් අපේ අඩු වෙලා තිබුන වතුර බෝතල් සීතලම සීතල වතුරෙන් පුරවගත්ත.ඒ වෙද්දි වෙලාව දවල් 1.30 වගේ වෙලා තිබුනා. ඉතින් අපි වැඩි වෙලා එතන කාලය ගත කරන්නෙ නැතුව අපේ ගමන ආයෙත් පටන් ගත්ත. එතනින් පස්සෙ තිබුනෙ ටිකක් බෑවුම වැඩි දුශ්කර මාර්ගයක් වගේම පහළින් හෙළ පේන්න තිබුනා. අපි පළවෙනි peak එකට එනවත් එක්කම අපිට අඩුපාඩුවට තිබුන වැස්ස කඩාපහත් උනා.  වැස්ස එන්න එන්නම දරුණු උනත් අපි දිගටම කන්ද නැගගෙන උඩට ගියා. ඒ වෙද්දි මීදුමත් ටික ටික අපිව ආක්‍රමණය කරන ගමන් තමයි තිබුණෙ.


වැස්ස නිසා අපිට පාර හොයාගෙන යන එක ඒ තරම් ලේසි උඒ නෑ අපි දෙවනි peak එකේ ටිකක් දුර යද්දි ඈතින් ගෙදරක් එහෙමත් දකින්න පුලුවන් උනා. වැස්ස නිසා අපි ගිය පාරෙ පොඩි පොඩි දිය පාරවල් වලටත් පණ ඇවිල්ල තිබුනා වගේම ඈතින් පෙනුන හාවගලිනුත් ලස්සන හුරුබුහුටි දිය ඇල්ලක් සක්‍රීය වෙලා තිබුනා.




ඉතින් තව ටික දුරක් උඩට ගියාම අපි හැමෝගෙම බලාපොරොත්තුව වෙලා තිබුන ගමනාන්තය වෙන Nagrack peak එකට හවස 3 වගේ වෙද්දි ළඟා වෙන්න අපිට පුලුවන් උනා. ඇත්තටම අපිට උඩටම ආවම මොන තරම් සතුටුයි ද කියල උඩ තියෙන photo එක බැලුව ගමන්ම තේරුම් යාවි කියල මම හිතනව. ඒ වෙද්දිත් වැස්සටනම් අපිව අමතක කරන්න බැරි වෙලා තිබුන වගේම මීදුමත් වැස්සට උපරිම සහයෝගය ලබාදෙමින් තිබුන නිසා අපි අපේ කූඩාරම් වෙනකන් ඒව ඇතුලට වෙලා ගමන ගැන කතා කර කර ඉඳල වැස්ස අඩු උනාම අපි එළියට ආව. ඒ වෙද්දි මීදුමත් අඩුවෙලා වටේ ලස්සනට පේන්න අරගෙන තිබුනා.





ඊළඟට අපි අපේ තෙතබරිත ඇඳුම් වලට සමුදීල වෙන ඇඳුමක් මාරු කරගෙන තවත් උණුසුම් වෙන්න හිතාගෙන කෝපි එකක් හදන්න පටන් ගත්ත. අපේ කූඩාරම් දෙකෙන් එකක පොඩි ප්‍රශ්නයක් නිසා අපි ඒකට අපේ බෑග් ඔක්කොම දාල අනිත් එකේ ඉන්න තීරණය කලා.

ඊළඟට අපි රසම රස කෝපි එකක් එක්ක බිස්කට් රස බලන ගමන් ගමන අතරතුර උන රසබර දේවල් කතා කරන්න පටන් ගත්ත. ඒ වෙද්දි කූඩාරමෙන් එළියෙ හොඳටම සීතල වෙලා තිබුනා.

 


ඔහොම ටිකක් ඉඳල අපි අපේ රෑ කෑම එකත් හදන්න පටන් ගත්ත. අපි රෑට නූඩ්ල්ස් තමා හදන්න අරගෙන ගියේ.

අපේ කාඩ් පැක් එකටත් වැස්ස සෑහෙන්න කරදරයක් කරල තිබුන නිසා අපි කෑම හදන ගමන් අපේ කාඩ් පැක් එක වේලගන්නත් අමතක කලේ නෑ.

ඒ වැඩ ඔක්කොම ඉවර වෙලා හවස 6.30 ට වගේ අපි එළියට ආවම අවට සම්පූර්ණයෙන් මද අඳුරෙන් ගිලිල තිබුන. පහළින් තිබුන ගෙවල් වල ලයිට් දහස් ගානක් මාරම ලස්සනට පෙනුන.


ටික වෙලාවක් අපි එහෙම වටේ ලස්සන විඳගෙන ආයෙත් කූඩාරමට ඇවිත් අපේ රෑ කෑම එක සම්පූර්ණයෙන් හදල ඉවර කරල ඒක සීතල වෙන්න කලින් කාල ඉවර කරල අපේ ඉතුරු වතුර ප්‍රමාණය ගැනත් බලල අපි ආයෙත් එළියට ආව. ඒ වෙද්දි එළියෙ සෑහෙන්නම සීතලක් තිබුණත් රෑ අහස අපිට ඒ සීතල අමතක කරවන්න සමත් උනා. ඒ වෙද්දි අහසෙ තරු දහස් ගානක් එක්ක ක්ෂීර පථයක් පේන්න තිබුනා වගේම පොඩි උල්කාපාත වර්ෂාවකුත් බලාගන්න තරම් අපි වාසනාවන්ත උනා.


එහෙම ටිකක් අහස බලල අපි ආයෙත් කූඩාරම ඇතුලට ඇවිත් කාඩ් සෙල්ලම් කර කර ඉඳල රෑ 9 ට වගේ නිදා ගන්න තීරණය කලත් අපි කාටවත් හොඳ නින්දක් නම් ගන්න පුලුවන් උනේ නෑ.



අපි උදේ අවදි වෙලා එළියට ආවම වටේ සම්පූර්ණයෙන්ම වගේ පැහැදිලිව පේන්න තිබුන. අපිට උදේ යාන්තමට ඈතින් ශ්‍රී පාදයේ උඩමලුවෙ ලයිට් දාල තියෙනවාත් බලාගන්න පුලුවන් උනා. ඒ වගේම සමනල වැව ජලාශය, උඩවලව ජලාශය රත්නපුර නගරය, පැල්මඩුල්ල නගරය වගේම ශ්‍රී පාදය,මහමුණි කන්ද, දෙතනගල, හාවගල, බලංගොඩ පෙට්ටිගල කඳු පන්තිය, බලතුඩුව වැනි බොහෝ කඳු ඈතින් බලාගන්න පුලුවන් උනා. එහෙම උදෑසන සුන්දරත්වය විඳින ගමන් අපි අපේ මතක සටහන් විදියට photo කිහිපයක්  අරගෙන උදේ කෑමට කඩල කෑව. 

                                                                   ශ්‍රී පාදය


අපි හපුතලෙන් දවල් 12.30 ට පිටත් වෙන දුම්රියෙන් පේරාදෙණියට එන්න බලාපොරොත්තු උන නිසා අපි උදේ 8 වගේ වෙද්දි Nagrack කඳු මුදුනට සමුදෙන්න හිතාගෙන අපේ ගමන් මලු සූදානම් කරගෙන තවත් කෝපි එකක රස බලල උදේ 8 වගේ වෙද්දි අපි කන්දට සමුදුන්න.




අපි පුලුවන් ඉක්මනින් ආපසු කන්ද බැහැගෙන එද්දි  පොඩි පොඩි කරදර  වලටත් මුහුණ දෙමින් පැය දෙකක් වගේ ඇතුලත ground එක ලඟට එන්න අපිට පුලුවන් උනා. අපි ඊළඟට ආයෙත් ඉහලගලගම මාර්ගය දිගේ හපුතලේ ප්‍රධාන මාර්ගයට පොඩ්ඩ පොඩ්ඩ ලගා උනා. ඒ අතර අපිට ගෙදරකින් ලැබුන උගුරැස්ස සංග්‍රහයත් මතක් කරන්න ඕනමයි. අපි උදේ 11 වෙද්දි හපුතලේ ප්‍රධාන මාර්ගයට ලඟාවෙන්න සමත් උනා.

එතනින් අපි බස් එකෙන් හපුතලේ නගරයට ඇවිත් ඉක්මනින් දවල් කෑමත් අරගෙන හපුතලේ දුම්රිය ස්ථානයෙන් අපි බලාපොරොත්තු උන විදියට දුම්රියට නැගගන්න අපිට පුලුවන් උනා. ඒ දුම්රිය ගමනත් ඇත්තම හරිම සුන්දරයි කෙළවරක් පේන්නෙ නැති තේ වතු මැදින්, ඈතින් පේන දිය ඇලි, බිංගෙවල් ඇතුලෙන් හෙමින් හෙමින් යන ගමන ඇත්තමට හරිම ලස්සනයි.




ඉතින් අවසානයේ හවස 7 වගේ වෙද්දි අපි පේරාදෙණියට ලඟා උනාට පස්සෙ අපි එතනින් බැහැල මේ අමතක නොවන ගමනේ මතක පොදි බැඳගෙන එකිනෙකාට සමුදීල සතුටින් විසිර ගියා.

ගමන් සඟයන් :

·       මනෝ (ඉංජිනේරු පීඨය 19 වසර)

·       බ්ලැටා (කෘෂිකර්ම පීඨය 20 වසර)

·       කෝචු (කෘෂිකර්ම පීඨය 20 වසර)

·       අබරා (ඉංජිනේරු පීඨය 21 වසර)

·       ඇට්ටරයා (ඉංජිනේරු පීඨය 21 වසර)

Photo Album: https://www.facebook.com/share/p/AcrGRkLEvLQhqPru/?mibextid=WC7FNe

සටහන: අබරා (ඉංජිනේරු පීඨය 21 වසර)

No comments:

Post a Comment