Saturday, May 3, 2025

රාක්ෂගල ගවේෂණය 2024

ගවේෂණය:- රාක්ෂගල |කිණිහිරිගල

ගවේෂණ අංකය:- 13

දිනය:- 2024/12/15

මාර්ගය :- පේරාදෙණිය → නාවලපිටිය → දොලොස්බාගේ → රාක්ෂාව → දොලොස්බාගේ → නාවලපිටිය → පේරාදෙණිය

පිහිටීම:- රාක්ෂගල /කිණිහිරිගල

https://maps.app.goo.gl/LpgznwdtYptEvGN88

හැඳින්වීම:-



මහනුවර දිස්ත්‍රික්කයට අයත් , නාවලපිටිය අඩවියටත් , දොලොස්බාගේ රාස්සගල ගමටත් , අයිති වන මෙම කාඳු මුදුන , දොලොස්බාග කඳු පන්තියේ උසින් දෙවන කඳු මුදුන වේ. මෙම කඳු පන්තියේ උසම  කන්ද කබරගල කන්දයි. මෙහි අන් කඳුවලට වඩා විශේෂත්වය වනුයේ, මෙම ගල් පිහිටි ආකාරයත් , රතු පැහැයෙන් යුක්ත පස නිසා යපස් මෙහි තිබෙන්නට ඇති බවත් හා මෙම කඳු මුදුනට නිරන්තර අකුණු ඇද ගැනීමත් ය. එය උපයෝගී කරගෙන ආවුද නිර්මාණය කළ බව සඳහන් වේ. මන්ද මෙම කන්දට කිණිහිරිගල නම වැටී ඇත්තේද ඒ නිසා බව ජන මතයයි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1438 ක උසකින් යුක්ත වේ. පරිසර විවිධත්වය අතින් ඉහළ තැනක් ගන්නා මෙම කන්ද මිනින්දෝරු සිතියමේ නැගෙනහිර සෙන්ට්‍රි බොක්ස් ලෙස නම් කර ඇත. 

රාක්ෂගල වටා එතුණු ජනප්‍රවාද බොහොමයක් ඇත. රාක්ෂ ගෝත්‍රිකයන් යනු රාවණා රජුගේ සොල්දාදුවන් වන අතර ඔවුන් විසින් රාම රාවණා යුද්ධයට අවශ්‍ය කඩු ආයුධ නිර්මාණය කර ඇත්තේ මෙහි යැයි විශ්වාසයක් පවතී. එයට හේතු සාධක ලෙස අපටද එහි ගිය විට කම්මලකට අදාළ පරිසරයක් යැයි දැනේ. එහි පසේ ස්වරූපයද එයට සාක්ශි දරයි. එමෙන්ම විශාල ගල් තලාවක් ඇති අතර , එය හරහා සුළං කපොල්ලක් නිර්මාණය වී ඇති අතර තදින් සුළං ඇති දිනකදී එය හොඳින් අපට දැනේ. එමෙන්ම පහළ ගම්මානය අළුගොල්ල ලෙස හැඳින්වීමටත් හේතුව වන්නේ එලෙස කම්මලේ අළු පහලට ගොඩ ගැසීම නිසා යැයි පැවසේ. එහෙයින් මෙයට රාක්ෂගල ලෙස නම පටබදුණු බව කියවේ. එසේම රාවණා රජු සීතා කුමරියව මෙහි මුලින්ම සඟවා සිට ඇති බවත් , මෙම ප්‍රදේශයේ සීතා කුමරිය නිදාගත් රන් ඇඳ තවමත් සඟවා ඇති බවත් කියවේ. මෙය ජනප්‍රවාදවලට අනුව පත්තිනි අම්මා කන්ද , වංගෙඩි මෝල්ගස් ගල නමින්ද හඳුන්වයි. රාවණා රජුගේ යකඩ කම්හලේ හදිසියේ ඇති වූ ගින්නකින් රාක්ෂ මුහුණු සෑදුණු බවත් , රාස්සිගේ වංගෙඩියයි මෝල්ගහයි ඇති බවත් එක් විශ්වාසයක් වන අතරම , සීතා දේවියට අසනීපයක් සඳහා බෙහෙත් කළ ස්ථානයක් බවත් , බෙහෙත් කෙටූ වංගෙඩියයි මෝල්ගහයි මෙම ස්ථානයේ තිබෙන බවත් තවත් විශ්වාසයකි.

පරිසර පද්ධතිය : 

කඳුකර ලඳු කැලෑ(Cloudy Forest)

දැකිය හැකි සතුන් :

ශ්‍රී ලංකාවට ආවේණික කුරුලු විශේෂ , අං කටුසු විශේෂ , සර්ප විශේෂ , ඕලු මුවන් , කුළු මීහරක්  සහ දිවියන් වැනි ක්ෂීරපායින් සහ බඹරුන් සහ මී මැස්සන් වැනි කෘමි විශේෂ මෙහිදී දැකගත හැක. 

ඕලු මුවා ( වැලි මුවා ) 



පහතරට කඳුකරයේ බහුලව දක්නට ලැබුණද , දිවයින පුරා වනාන්තර ප්‍රදේශවල දක්නට ලැබේ. සාමාන්‍යයෙන් තනිව හෝ යුගල වශයෙන් හමුවන්නේ , තර්ජනයක් ඇති වූ විට පසුබැසිය හැකි ඝන ආවරණයකින් බොහෝ දුරින් නොවන වනාන්තර දාරවල ය. මොවුන් රාත්‍රියේදී ආහාර සොයා යන නමුත් උදේ පාන්දර සහ සවස් වරුවේද දැකිය හැකිය. මොවුන්ට බල්ලෙකුගේ බුරන හඬට සමාන ඉතා සුවිශේෂී කෑගැසීමක් ඇත. සමහර විට දිවියෙකු හෝ එවැනි ආක්‍රමණයකින් කලබල වූ විට මොවුන් දිගු වේලාවක් කඩින් කඩ බුරමින් සිටියි. මොවුන්ගේ ආහාරය තණකොළ සහ කොළ වර්ගවලින් සමන්විත වේ.


English Name: Marbled rock frog / Kirtisinghe's rock frog

Scientific Name: Nannophrys marmorata

සිංහල : දුම්බර ගල්පර දිය මැඩියා [Dumbara galpara diya madiya]



දුම්බර ගල්පර දිය මැඩියා යනු නකල්ස් කඳුවැටියේ බහුලව දක්නට ලැබෙන ආවේණික ගෙම්බන් විශේෂයකි. එය Nannophrys කුලයට අයත් ශ්‍රී ලංකාවේ ගෙම්බන් විශේෂ දෙකෙන් එකකි. මෙම විශේෂය අර්ධ ජලජ වන අතර පාෂාණ කුහරවල සහ තෙත් පාෂාණ මත ජීවත් වේ. පැතලි හැඩැති ශරීරය සහ සමේ වර්ණ රටාව ජීවත්වන වාසස්ථානයට අනුවර්තනය වේ. Nannophrys marmorata වියළි , වෙනස්වන කාලගුණික තත්වයන් සමඟ ජීවත් වීමට සම්මත කර ඇත. IUCN රතු ලැයිස්තුවේ තර්ජනයට ලක් වූ විශේෂවල, මෙම ගෙම්බා එහි සීමිත ව්‍යාප්තිය හේතුවෙන් " විවේචනාත්මක වඳවීමේ තර්ජනයට ලක්ව ඇති" ලෙස වර්ගීකරණය කර ඇත. සංචාරක හා කෘෂිකාර්මික කටයුතු වැනි මානව ක්‍රියාකාරකම් විශේෂ සඳහා ප්‍රධාන තර්ජනයක් ලෙස සැලකේ.

හඳුන් දිවියා



අග්නිදිග ආසියාවේ මධ්‍යම ප්‍රමාණයේ වල් බළලෙකි. මෙම සත්ත්වයාට කළු ඉරි සහ ලප සහිත ගැඹුරු කහ-අළු ලොම් ඇත. වැඩිහිටි සතුන්ගේ හිස සිට ශරීරය දක්වා දිග සෙන්ටිමීටර 57 සිට 78 දක්වා ( අඟල් 22 සිට 31 දක්වා ) , සෙන්ටිමීටර 20 සිට 30 දක්වා ( අඟල් 8 සිට 12 දක්වා ) දිග වලිගයක් ඇත. පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා විශාල වන අතර බර කිලෝග්‍රෑම් 8 සිට 17 දක්වා වන අතර ගැහැණු සතුන් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 5 සිට 9 දක්වා වේ. මොවුන් වැඩිපුරම ජීවත් වන්නේ තෙත්බිම් ආශ්‍රිතව , ගංගා , ඇළ දොළ , වගුරුබිම් සහ කඩොලාන ආශ්‍රිතව , මොවුන් වැඩිපුරම මසුන් ගොදුරු කරගන්නා ප්‍රදේශවලය. අනෙකුත් ගොදුරු අතර කුරුල්ලන් , කෘමීන් , කුඩා මීයන් , මොලුස්කාවන් , සර්පයන් ඇතුළු උරගයින්, උභය ජීවීන් සහ ගවයින්ද ඇතුළත් වේ. මොවුන් මූලික වශයෙන් නිශාචර ලෙස සැලකේ. මොවුන් හොඳ පිහිනුම් ක්‍රීඩකයන් වන අතර දිය යට පවා බොහෝ දුර පිහිනිය හැකිය.

English Name: Tennent’s leaf-nosed Lizard

Scientific Name: Ceratophora tennentii

සිංහල: දුම්බර පෙති අං කටුස්සා



Tennent’s leaf-nosed lizard යනු ශ්‍රී ලංකාවේ නකල්ස් කඳු වැටියට බොහෝ දුරට සීමා වූ ආවේණික කටුස්සා විශේෂයකි. නාසයේ කෙළවරේ උපග්‍රන්ථයක් වැනි පත්‍රයක් තිබීම මෙම කටුස්සාගේ සුවිශේෂී ලෙස හඳුනාගත හැකි ලක්ෂණයයි. දිවා කාලයේදී මෙම කටුස්සා ආවරණය කරන ලද වනාන්තර තුළ සිරස් අතට ගස් කඳන් මත එල්ලී සිටිනු දැකිය හැකිය.

දැකිය හැකි ශාක:

ශ්‍රී ලංකාවට ආවේණික ශාක රැසක් දොලොස්බාගේ කඳු පන්තියේ දැකගත හැක. ඒ වගේම රාක්ෂගල මංපෙත මංමුලා වැල් වලින් පිරී ඇත. පාසි බැඳුණු ශාක දැකගත හැක.

Common name: Bamboo orchid flower

Scientific name: Arundina graminifolia



උණ බම්බුවකට සමාන වන පත්‍ර සහිත භෞමික උඩවැඩියා විශේෂයකි, එබැවින් උණ ඕකිඩ් යන පොදු නාමය වේ. එහි නිජබිම අග්නිදිග ආසියාවයි. රීඩ් කඳන් 5-6' උසට වැඩී විශාල පොකුරු සාදයි. කඳන් පටු රේඛීය තෘණ වැනි පත්‍ර ( එක් එක් අඟල් 4-8 දක්වා ) කොපුවලින් ආවරණය කර ඇත.

සිදුහත් මල, ගොඩ මානෙල් ( Alpinia abundiflora Burtt & R.M.Sm. )



නිජබිම ශ්‍රී ලංකාව

හීංබෝවිටියා



බහුලව අතු බෙදී පඳුරක් ලෙස වර්ධනය වන ශාකයකි. කුඩා අතු ශක්තිමත් බවින් අඩු අතර පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. කොළවල මද වශයෙන් බූව ඇත. පෙති 5කින් යුක්ත ලා දම් පැහැති මල අලංකාරවත් ය. දකුණු පළාතේ පළාත් පුෂ්පය ලෙස නම් කර ඇත. කුඩා ගෙඩි තුල හටගන්නා බීජ සහ අතු කැබලි මඟින් ප්‍රචාරණය සිදු වේ. දම් පැහැති ඉදුණු ගෙඩි පලතුරක් ලෙස කෑමට ගත හැකිය. හීංබෝවිටියා Melastomataceae උද්භිද කුලයට අයත් ශාකයකි. බෝවිටියා වර්ග ගණනාවක් ලංකාවේදී මෙන්ම ඉන්දියාව ඇතුළු රටවලදී ද දැකගත හැකි වුවද හීන්බෝවිටියා ශාකය ලංකාවේ පමණක් දකින්නට ඇති ඖෂධීය වටිනාකමක් සහිත ශාකයකි. අක්මාවේ රෝග, දියවැඩියාව , අර්ශස් , සෙංගමාලය, පිළිකාවට , රුධිරයේ අධික මේදය පැවතීම ශරීර ඌෂ්ණයට , මුත්‍රා දැවිල්ලට යන රෝග තත්ත්වයන් ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ කොළ , පොතු, මුල් ආදිය යොදාගනී. හීන්බෝවිටියා ගෙඩි පලතුරක් ලෙසටත් , දලු , කොළ ව්‍යංජන හා මැල්ලුම් සඳහාද කොළ ඖෂධීය කැඳ සඳහාද සම්පූර්ණ ශාකයම වියළා තම්බා ගෙන පානය කිරීම ආදී වශයෙන් ප්‍රතිලාභ රැසකි.

Murdannia plant

සිංහල නම: තණ පලා (Thana Pala)

ගල් ගොරකා (Clusia rosea)

වසර 1886 දී විසිතුරු ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර වර්තමානයේදී ආක්‍රමණික ශාකයක් ලෙස හඳුනාගෙන ඇත. භෞමික , අපිශාකයක් හෝ පඳුරක් ලෙස 7-20 m දක්වා උසට වැඩෙයි. මෙක්සිකෝව , ෆෝරිඩා , මධ්‍යම ඇමරිකාව , කැරබියන් හා දකුණු ඇමරිකාව මෙම ශාකයේ නිජබිම වන අතර පළමුවෙන්ම හාවයි සඳහා විසිතුරු ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. 

ආසියාව , උතුරු ඇමෙරිකාව , දකුණු ඇමෙරිකාව සහ ඕසනියා කලාපයේ පැතිර පවතී. මෙය වනාන්තර , ගංගා , ඉවුරු, සහ කඳුකර ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇත.







දර්ශන පථය:

ගම්පොළ ප්‍රදේශය, දේවානගල, අම්බුලුවාව, නකල්ස් කඳු වැටිය සහ හන්තාන කඳු වැටිය , දොලොස්භාගේ කඳු ප්‍රදේශය , වවුල් ගල , කොටගල, සිරීපාදය , මොනරගල , පිදුරුතලාගල, ග්‍රේට් වෙස්ටර්න්




ගවේෂණ සටහන:

2024/25 ගවේෂණ වාරයේ 13 වන ගවේෂණය ලෙස විශ්ව විද්‍යාලීය ගවේෂකයන්ගේ සංගමයේ අපි රාක්ෂගල / කිනිහිරි කන්ද තරණයට සූදානම් වුණෙමු. දෙසැම්බර් 15 වන ඉරුදින හිමිදිරි උදෑසන 5.30 පමණ වන විට ගවේෂණය සඳහා සහභාගී වීමට කැමති ගවේෂකයින් සියලු දෙනාම විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨ පරිශ්‍රයට රැස් වුණෙමු. එදින ගවේෂණයට ගවේෂකයින් 28 දෙනෙකු සූදානම් වී සිටි අතර ගමන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ගවේෂකයින්ගේ සංගමයේ සභාපති සහෝදරයා කෙටි දැනුවත් කිරීම් කිහිපයක් සිදු කළේය. ඉන් පසු උදෑසන 6.25 ට නුවරින් පිටත් වන දුම්රියෙන් නාවලපිටිය දක්වා ගමන් කිරීමට අප සියලු දෙනාම ''සරසවි උයන'' දුම්රියපළ වෙත පා ගමනින් ගමන් කළෝය. සරසවි උයන දුම්රියපළෙන් උදෑසන 6.45 ට දුම්රියෙන් ගමන් ආරම්භ කර උදෑසන 8.00 පමණ වන විට නාවලපිටිය දුම්රියපළ වෙත ළඟා විය. එතැනින් දුම්රියෙන් බැසගත් ගවේෂකයින් සියලු දෙනාම පිළියෙල කරගෙන පැමිණි උදෑසන ආහාරය බුක්ති වින්දෙමු. 

ඉන්පසු උදෑසන 8.25 ට පමණ දොලොස්බාගේ බස් රථයට ගොඩවුණු අපි රක්ෂාව බලා ගමන් කළෝය. උදෑසන 9.30 ට පමණ රක්ෂාව ප්‍රදේශයෙන්බසයෙන් බැස ගත්තෝය. එතැන් පටන් ගවේෂණය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ජ්‍යේෂ්ඨ ගවේෂක සහෝදර සහෝදරියන් විසින් ආධුනික ගවේෂකයින් හට උපදෙස් ලබා දුන් අතර එතැන් පටන් සියලුම දෙනා ගවේෂණය ආරම්භ කරන ලදී. 

ගමන ආරම්භයේදී ඈතින් දිස් වූ රාක්ෂගල /කිනිහිරිගල දර්ශනය ඉතා මනරම්‍ විය. රාක්ෂගල තරණය තරමක් දුෂ්කර වුවද එහි ස්වභාව සෞන්දර්‍යය සියලු වෙහෙස නිවා දැමීමට සමත් විය. 





රැගෙන ආ බීම සහ බිස්කට් රසවිඳිමින් පැය දෙකක පමණ තරණයකින් පසු රාක්ෂගල කඳු මුදුනට ළඟා වීමට අපට හැකි විය. කඳු මුදුනට ළඟා වන විට මධ්‍යාහන 12 පමණ වී තිබූ බැවින් රැගෙන ආ දිවා ආහාරය කඳු මුදුනේදී රස වින්දෙමු. ඉන් පසුව ජ්‍යේෂ්ඨ ගවේෂක සහෝදරයෙකු විසින් කන්ද ආශ්‍රිත ජනප්‍රවාද , කඳු මුදුනේ සිට බැලූ විට පෙනෙන අනෙකුත් කඳු පන්ති පිළිබඳව අපව දැනුවත් කළේය. පසුව සියලුම ගවේෂකයින් හඳුනාගනු ලැබූ අතර කඳු මුදුනෙහි සිට ඉතා මනරම් ඡායාරූප ලබාගැනීමටද අමතක කළේ නැත. 


කඳු මුදුනට දිස් වූ චමත්කාරජනක දර්ශනය රස විඳීමෙන් අනතුරුව නැවතත් කඳු පාමුලට පැමිණීමට අපි ගමන් ආරම්භ කළෙමු. දහවල් 2.30 පමණ වන විට කඳු පාමුලට පැමිණි අප සියලු දෙනාම එතැන් පටන් නැවතත් නාවලපිටිය බලා පැමිණෙන බස් රථයකට ගොඩ වුණෙමු. පසුව නාවලපිටියෙන් සවස 3.30 ට පමණ කොළඹ බලා ධාවනය වන දුම්රියක නැග ''සරසවි උයන'' දුම්රියපොළෙන් අපගේ ගමනාන්තය සනිටුහන් කළෙමු. පසුව විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය අසලට රැස් වුනු අපි කෙටි සතුටු සාමීචියක යෙදී ඉන්පසු විසිර ගියෙමු. ඒ මෙවන් උද්‍යෝගීකර ගවේෂණයකදී නැවතත් හමුවන බලාපොරොත්තුවෙනි.

Photo Album : https://www.facebook.com/share/p/18k1ENjZwn/

සටහන:

නිරාශා ( පත්තරී AHS/22 )

තොරතුරු:

උත්පලා ( පැරසිටෝල් AHS/22 )

නිරාශා ( පත්තරී AHS/22 )

වරුනි ( කෝළමී AHS/22 )

නිමාශා ( චිමිනි AHS/22 )

නෙත්මිනි ( කේතුමතී AHS/22 )





No comments:

Post a Comment