රාක්‌ෂගල ගවේෂණය
ගවේෂණ අංකය :Event no 11
දිනය : 2025/09/14
දොලොස් භාගේ ගම්පොළ පේරාදෙණිය
පිහිටීම: දොලොස්භාගේ කදුවැටිය
රාක්ෂගල නොහොත් කිනිහිර කන්ද ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයට අයත් දොලොස් හාගේ කදු පන්තියේ දෙවැනියට උසම කදු මුදුනට හිමිකම් කියයි.
රාක්ෂගල කන්දේ උපරිම උස මීටර 1438 (අඩි 4718) කි
මෙහි ඇති සුවිශේෂි හැඩය නිසාම අනෙකුත් කදු අතරින් කැපී පෙනෙන්නට සමත් වන අතර දෙස් විදෙස් කදු නගින්නන් අතර ප්‍රියතම ගමනාන්තයකි.
රාක්ෂගල කන්දේ ඉතිහාසය රාම රාවණා යුගය දක්වා විහිදෙන අතර රාවණා විසින් සීතාව පැහැරගෙන ගොස් මුලින්ම මෙහි සගවා තිබූ බවට පුරාවෘතයක් ද පවතී. ජනප්‍රවාද වලට අනුව රාවණා රජුගේ ආයුධ කම්හල මෙහි මුදුනේ පිහිටා තිබී ඇති අතර හදිසි ගින්නකින් එහි වූ ලෝහමය උපකරණ දැවී ගොස් ඇත. සුන්බුන් හා අලු තැන්පත් වූ කදු පාමුල පිහිටි ගම්මානය අදටත් අලුගොල්ල ලෙස හදුන්වනු ලැබේ.
තවත් මතයකට අනුව මෙම කන්දට රාක්ෂගල යන නම ලැබී ඇත්තේ පුරාණ රාක්ස ගෝත්‍රිකයන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ කන්දක් නිසා බැව් කියැවෙයි.
කදුකර ලදු කැලෑ පරිසර පද්ධතියකින් සමන්විත මෙම භූමි භාගයේ කදුකර පරිසරයට ආවේණික ඇඹරුණු කදන් සහිත ගස්ද ලයිකන, පාසි සහ ඕකිඩ් වැනි ශාක විශේෂයන් ද දක්නට ලැබේ.
කදුකර පරිසර තත්ව නිසා ජීවත්වන සත්ත්ව විශේෂ සංඛ්‍යාව අවම වුවත් අරංගයා, Sri Lanka Bush Warbler නොහොත් ශ්‍රී ලංකා වන රැවියා (Elaphrornis palliseri) වැනි කදු ආශ්‍රිත පක්ෂීන් විශේෂ ද කටුස්සන්, සර්පයන් වැනි උරග විශේෂ ද, බඹරුන්, මී මැස්සන් වැනි කෘමීන් විශේෂ ද මහ වදුරා නොහොත් Purple-faced langur, රිලවුන්, දිවි විශේෂ මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික කදුකර කොටියන් ද මෙම ප්‍රදේශයේ සැරිසරන බවට සදහන් වේ. මීට අමතරව කූඩැල්ලන් බහුලව ගැවසෙන පරිසර පද්ධතියකි.
රාක්ෂගල කදු මුදුනට විශිෂ්ට අංශක 360 ක භූමි දර්ශනයක් දැක ගත හැක. ඒ අතරට කබරගල, පිදුරුතලාගල, කිකිලියමාන, බතලේගල, නකල්ස්, සප්ත කන්‍යා, හන්‍තාන, අලගල්ල උලපනේ හා ඒ ආශ්‍රිත කදු අන්තර්ගත වන අතර අමිබුලුවාව මෙන්ම ඉතා පැහැදිලි අහසක් සහිත දිනවලදී ශ්‍රී පාදස්ථානය පවා දැක බලා ගත හැක.
අතරමං වීමේ අවදානම අවම නිසා ආධුනික කදු නගින්නන්ට පවා අපහසුවකින් තොරව තරණය කල හැකි කදු අතරින් එකක් ලෙස රාෂගල සැලකිය හැකි නමුත් වර්ෂා කාලයේදී වේගවත් සුළං හා ඝන මීදුම නිසාවෙන් ගමන තරමක් අපහසු වීමට ඉඩ ඇත.
එමෙන්ම රාක්ෂගල වැනි සුවිශේෂී පරිසර පද්ධතින් මිනිස් ක්‍රියාකාරකම් නිසා තර්ජනයට ලක්වෙමින් ඇත.
ගස් කැපීම, කාබනික හා අකාබනික අපද්‍රව්‍ය නිසි පරිදි කළමනා කරණය නොකිරීම සහ සංචාරකයන්ගේ අවිධිමත් හැසිරීම් පරිසර හානි සඳහා ප්‍රධාන හේතු වේ. එමෙන්ම ගමන් මාර්ගය පුරාම සැලකිලිමත් නොවූ මග සලකුණු යෙදීම සඳහා පොලිතින් ප්ලාස්ටික් යොදා ගැනීම නිසා මෙන්ම සංචාරකයින්ගේ ඉහළ පැමිණීම නිසා සතුන්ට ශබ්ද මට්ටම වැඩි වීම නිසා සතුන්ගේ ස්වභාවික ජීවිතයට බාධා වේ.
ගස් කැපීම නිසා කඳුකර ලදු කැලෑවල විශේෂ මල් පිපෙන ශාක, ලයිකන, ඕකිඩ් වැනි ආවේණික ශාක විනාශ වීමේ අවදානම පවතී. එසේම වන සත්වයන්ගේ වාසස්ථාන බිඳ වැටීමේ අවදානමකට ලක්ව ඇත. කෘමීන්ගේ සංඛ්‍යාතය අඩුවීමත් පරිසර ගතිකත්වය අසමතුලිත වීමට හේතු වී ඇත. දේශගුණික රටාවන් සදහා මෙම පරිසර හානි බලපෑම් එල්ල කරයි.
එබැවින් රාක්ෂගල වැනි වටිනා ස්ථාන සුරක්ෂිත කරගැනීමට අපගේ දායකත්වය අත්‍යවශ්‍යය, සුරක්ෂිත සංචාරක ක්‍රියාකාරකම්, අප ද්‍රව්‍ය කළමනා කරණය, නීතිමය ආරක්ෂා සහ දැනුවත් කිරීම මගින් පරිසර හානිය අවම කරගත හැකි වේ.
ගවේෂණ සටහන
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ගවේෂකයන්ගේ සංගමයේ අපි, 2025/26 ගවේෂණ වාරයේ 11 වන ගවේෂණය ලෙස රාක්ෂගල කදු මුදුන කරණය කිරීමට තීරණය කල අතර සැප්තැම්බර් මස 14 වන වන ඉරු දින විද්‍යා පීඨ පරිශ්‍රයට ගවේෂණය සදහා සම්බන්ධ වීමු.උදෑසන 8.30 පමණ වන විට අප සංගමයේ සභාපති සහෝදරයාගේ කෙටි දැනුවත් කිරීම් කීපයකින් අනතුරුව රාක්ෂගල ගවේෂණයට ලක ලෑස්ති වූ 82 ක් පමණ වු ගවේෂක සහෘදයන් පිරිස කණ්ඩායම් 04 කට බෙදෙන ලෙසත් එහිදී කන්දේ පිහිටීම, භූ විෂමතා, ශාක හා සතුන් පිළිබද මෙන්ම පරිසර හානි සහ මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑම් පිළිබදව තොරතුරු සෙවීමට හා ඡායාරූප ගැනීමට උපදෙස් ලැබුණි.
විද්‍යා පීඨය අසලින් බස් රථයට ගොඩ වූ අපි රාක්ෂගල බලා පිටත් වීමු. ගම්පොල හරහා දොලොස්බාගේ වෙත ලගා වූ අපි රාක්ෂාව හන්දියෙන් ගවේෂණය ඇරඹුවෙමු. රාෂගල තේ කම්හල සහ තේ වත්තක් හරහා වැටී තිබූ මාර්ගය ක්‍රම ක්‍රමයෙන් වනාන්තර ස්වරූපයකට හැරෙන්නට විය. තුරු ලතා මැදින්, මානා පදුරු අතරින් කුඩලු ප්‍රහාරයන්ට ද ලක් වෙමින් එකිනෙකාට ආධාර වෙමින් හෝරා දෙකකට ආසන්න කාලයකදී කදු මුදුනට ලගා වීමට අපට හැකි විය.
කදු මුදුනේ මනස්කාන්ත දර්ශනයෙන් ගමනේ මහන්සිය සැනෙකින් පහව ගියාක් මෙනි. මද වේලාවකින් එහි සිටම දිවා ආහාරය රස විදි අප ඉන් අනතුරුව ගවේෂණයට සහභාගී වූ සියලු දෙනා හදුනා ගැනීම සිදු කල අතර, පසුව එදින අප හා ගවේෂණයට සම්බන්ධ වූ විශ්ව විද්‍යාල ගවේෂකයින්ගේ සංගමයේ ජ්‍යේෂ්ට සාමාජික සහෝදර සහෝදරියෝ ඔවුන්ගේ අත්දැකීම් අප සමග බෙදා හදා ගත්හ.
එකිනෙකා හා තොරතුරු හුවමාරුවෙන් හා ඡායාරූප ගැනීමෙන් අනතුරුව අපි නැවතත් ප්‍රවේශමෙන් කන්ද බැසයාම ඇරඹුවෙමු. ප.ව 4.30 පමණ වන විට බස් රථය නවතා තැබූ ස්ථානය වෙත ලගා වූ අප රාක්ෂගල ගවේෂණයේ අවසානය සනිටුහන් කරමින් නැවතත් විද්‍යා පීඨය අසලට රැස් වන විට ප.ව 6 පමණ වී තිබුණි.
සුපුරුදු පරිදි ගීත දෙක ගායනා කිරීමෙන් හා සුහද ආචාර කිරීමෙන් අනතුරුව අපූර්වතම ගවේෂණයක මතක ගොන්නක් එක්කාසු කරගනිමින් අපි සියලු දෙනා විසිර ගියෙමු.!
Album -
https://www.facebook.com/share/p/1DeTymPLq2/
Written by - Ashani Kottage (Maya D20), Dora, Kavindya Kushadini (Ruwali A20)
No comments:
Post a Comment