ගවේෂණ අංකය : Event no. 07
දිනය : 2024.10.27
ගමන් මාර්ගය : පේරාදෙණිය → නුවර → රිකිල්ලගස්කඩ → කුකුළාගල → රිකිල්ලගස්කඩ → පේරාදෙණිය
පිහිටීම : කුකුළාගල
https://maps.app.goo.gl/1B5PZVNXf8bAgpVq5
හැඳින්වීම:
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිකිල්ලගස්කඩ නගරයට ආසන්නව කුකුළාගල කන්දෙහි පිහිටීම සඳහන් වේ.
කඳු නගින්නන් අතර ප්‍රචලිත කුකුළාගල කඳු මුදුන මුහුදු මට්ටමේ සිට 1513m කින් පිහිටා තිබේ. කුකුළකුගේ හැඩයට සමාන හැඩයකින් මෙම කන්ද සමන්විත බැවින් මෙයට කුකුළාගල ලෙස නම පටබැඳුණු බව ගම්මුන්ගේ අදහසයි. කුකුළාගල කන්ද හඳුන්වන තවත් අන්වර්ථ නාමයන් කිහිපයකි. ඒවා නම් , දියතලාව කඳුවැටිය , ගල උඩ පර්වතය වැනි නාමයන් ය.
මේ හා සම්බන්ධ ප්‍රකට ජනප්‍රවාදය ලෙස පුරාණයේ දී කඳු පර්වතය මත රාජකීය ගබඩාවක් ලෙස පැවති බව සඳහන් වේ. මෙම කන්දෙහි බටහිර දිශාවේ බෑවුමට වන්නට පැරණි ජනාවාස තිබූ බවට සාධක හමුවේ. අදටත් මෙම නිවාසවල නටඹුන් කොටස් දැකගත හැකිය. ගම්වාසීන් පවසන්නේ පුද්ගල මළ සිරුරු පවා පසුකාලීනව මෙහි තිබී හමු වූ බවයි. මෙහි කඳු පාමුල කොටසේ කුඩා වැවක් දැකගත හැකි අතර එය විල්පස වැව ලෙස හදුන්වයි.
පරිසර පද්ධතිය : කඳුකර ලඳුකැලෑ ( cloudy forest )
දැකිය හැකි සතුන් :
කඳුකර පරිසර පද්ධතියක් හඳුනාගත හැකි මෙහි ජීවත් වන සත්ව විශේෂ සංඛ්‍යාව අවමය. කඳු ආශ්‍රිත පක්ෂි විශේෂ කිහිපයක් ද, කටුසු විශේෂ සහ උරග විශේෂද මෙහි දැකගත හැකිය. බඹර සහ මී මැසි වද දැකගත හැකි අතර මෙවැනි කෘමි විශේෂ රැසක් හඳුනාගත හැකිය. මද වැසි සහිත සහ තෙත් කලාපීය පරිසර පද්ධතියක් නිසාවෙන් කූඩැල්ලන් බහුල ලෙස හමු වේ. ශ්‍රී ලංකාවට ආවේණික කඳුකර දිවියන් මෙම ප්‍රදේශයේ වෙසෙන බවට සාක්ෂි හමු වී ඇත. වර්තමානයේ ෆයිනස් වගා ආශ්‍රිතව සිදු කෙරෙන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් බහුල ලෙස මදුරුවන් බෝවීම හඳුනාගත හැකිය.
දැකිය හැකි ශාක :
කුකුළාගල පරිසර පද්ධතිය තුළ දැකිය හැකි ප්‍රමුඛ ශාකයන් ලෙස හඳුනාගත හැක්කේ ෆයිනස් සහ ඉලුක් ය. කන්දෙහි ඉහළ මට්ටමට ළඟා වෙත්ම පැඟිරිමානා සහ හීන්බෝවිටියා ශාක වර්ග දැකගත හැකි විය.
මානව ක්‍රියාකාරකම් :
කඳු බෑවුමට වන්නට මිනිසුන් අතලොස්සක් පමණ වන කුඩා ගම්මාන ඇත. උඩරට එළවළු බෝග හෙල්මළු ක්‍රමයට වගා කර ඇත. කඳු බෑවුමෙහි විශාල වශයෙන් ෆයිනස් වගාව සහ එයට පිවිසීම සඳහා කුඩා අඩිපාරවල් ඇත.
දර්ශන පථය :
පිදුරුතලාගල , නකල්ස් , යහන්ගල, හන්තාන , වික්ටෝරියා ජලාශය, රන්දෙණිගල ජලාශය , රන්ටැඹේ ජලාශය , නවනගල , දෝතලුගල , අලගල්ල
ගවේෂණ සටහන :
විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමය විසින් 2024/25 ගවේෂණ වාරයේ 07 වන ගවේෂණය ලෙස කුකුළාගල කන්ද තරණය කිරීමට තීරණය කළෝය. 2024.10.27 වන ඉරුදින උදෑසන 7.30 පමණ වන විට ගවේෂණය සඳහා සූදානම් ගවේෂකයන් රැසක් විශ්ව විද්‍යාල විද්‍යා පරිශ්‍රයට සම්බන්ධ වී සිටියෝය. තරමක වැසිබර කාලගුණයක් නිරීක්ෂණය කළ හැකි වුවද , එය නොතකමින් ගවේෂණය ආරම්භ කිරීමට ක්‍රියා කළෙමු. උදෑසන 8.30 පමණ වන විට කුකුළාගල ගවේෂණයට සියලුම ගවේෂකයන් සූදානම් විය. මෙහිදී සංගමයේ සභාපති සහෝදරයාගේ උපදෙස් මත ගමන් ආරම්භයට පෙර පිරිස කණ්ඩායම් 04 කට බෙදුණු අතර ඒ කණ්ඩායම් විසින් ගවේෂණයට අදාළ සතුන් , ශාක, භූ විෂමතාවය , මානව ක්‍රියාකාරකම් හා ඒ මඟින් වර්තමානය වන විට ඇති වී ඇති වෙනස්කම් , බලපෑම් පිළිබඳව තොරතුරු සෙවීමට සහ ඡායාරූප ගැනීමට දැනුවත් විය.
මෙලෙස ගමනාරම්භ කළ අප නුවර පසුකර රිකිල්ලගස්කඩ මාර්ගයන් හරහා කුකුළාගල තරණයට සූදානම් වූයේ පෙරවරු 11.00 ට පමණය. තරමක් දිගු කාලයක් ගතවන කඳු තරණයක් නිසා මෙන්ම මාන පඳුරු හා ෆයිනස් වගා අතරින් ඉතා අපහසුවෙන් තරණය කිරීමට සිදු වීම නිසා අපගේ ගමනාන්තය වන කුකුළාගල මුදුනට පැමිණියේ පස්වරු 2.30 ට පමණය.
කුකුළාගල ගල් මුදුනේ සිට දිවා ආහාරය ගත් අප ඉන් පසුව ගවේෂණයට සහභාගී වූ සියලු දෙනාම හඳුනා ගැනීම සිදු කළ අතර පසුව එදින අප ගවේෂණයට සහභාගී වූ විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ ජ්‍යේෂ්ඨ සාමාජික සහෝදර සහෝදරියන් ඔවුන්ගේ අත්දැකීම් අප සමඟ බෙදාගත් හ. මෙහි දී ඔවුන් විසින් කුකුළාගල සම්බන්ධ විස්තර කථනයක් සිදුකළ අතර එහිදී පෙනෙන දර්ශන පථය , මෙහි පවතින ස්වභාවික පරිසරය , භූ විෂමතාවය , ශාක හා සත්ව ප්‍රජාව පිළිබඳව මෙන්ම වර්තමානයේ සිදු කෙරෙන මානව ක්‍රියාකාරකම් හා එහි බලපෑම් පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ලබා දුන්හ. කඳු මුදුනේ සිට ඡායාරූප ගැනීමටද අවස්ථාව ලබා දුන්නේ සියලුම සාමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමිනි.
කඳු මුදුනේදී හදිස්සියේ මුහුණ පෑමට සිදු වූ වැසි මන්දාරම් තත්වය හේතුවෙන් යුහුසුළුව නැවත කන්ද බැසීමට සිදු විය. මෙහිදී ගම්මුන් විසින් නිර්මාණය කරගන්නා ලද කුඩා අඩි පාරවල් ඔස්සේ ගම්මානය මැදින් කන්ද බැසීමු. මෙහිදී අපට දැකගත හැකි වූ විශේෂ නිරීක්ෂණයක් වන්නේ කඳු බෑවුමට වන්නට සුළු වශයෙන් පිරිස් කුඩා ගම්මාන ලෙස මෙහි පදිංචිව සිටින බවත්, හෙල්මළු ක්‍රමය යටතේ උඩරට එළවළු බෝග වගාව සිදු කරන බවත් ය. කැරට් , ලීක්ස් , ළූණු ගස් හා බීට් රූට් යන එළවළු පාත්ති රැසක් ඉතා සරුවට වැඩී තිබෙන ආකාරය දැක ගත හැකි විය. මේවා නිරීක්ෂණය කරමින් අප නැවත බස් රථය වෙත පැමිණීමේදී පස්වරු 5.30 ට පමණ වූ අතර නැවත විශ්ව විද්‍යාලය වෙත පැමිණීමේදී 7.30 ට ආසන්නව තිබුණි. මෙලෙස කුකුළාගල ගවේෂණය සාර්ථකව අවසන් කළ අප සුපුරුදු ගීත දෙක ගායනා කර , පැමිණි සියල්ලන්ටම සතුටින් සමු දුන්නේ නැවත දිනකදී තව ඉසව්වක ගවේෂණයකදී හමු වන බලාපොරොත්තුවෙනි.
Photo Album :
https://www.facebook.com/share/p/1F6jP9rXwT/
සටහන :
අයේෂා ( Art 20 ලෝටස් )
තොරතුරු :
අයේෂා ( Art 20 ලෝටස් )
මෙත්තා ( Agri 19 ඉලියම් )










 
 
No comments:
Post a Comment